පන්සලක් බෙදාගන්න බැරිව භික්ෂූන් වහන්සේලා දෙනමකට පොලිස් නිලධාරියෙකුට පිහි ඇනුම්

0
භික්ෂූන් වහන්සේලා

ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් සියම් මහා නිකායේ විහාර දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලේදී එක් විහාර පාර්ශවයක භික්ෂූන් වහන්සේලා දෙනමකට මෙන්ම පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධ වලින් පහර දි බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද අනෙක් විහාර පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් හා සිවිල් පුද්ගලයා 2024 ජූලි 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා පෙරේදා (15) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාරතාවක් මගින් 19 දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බෙන්තොට පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දළුව, පුත්තලම, අන්තර් සමුද්‍ර පිරිවෙණ්වාසී මිගෙට්ටුවත්තේ සුමිත්ත (45), ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරවාසී ඉත්තෑපානේ සුමන (68) යන භික්ෂූන් වහන්සේලා හා අතුරුවැල්ල, ඉදුරුව ලිපිනයේ පදිංචි කුමාරගේ හර්ෂණ (40) යන තිදෙනාය.

පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ වෑවල, හොරණ ඉසිපතනාරාම විහාරවාසී තම්ජන්තැන්නේ හේමානන්ද (17), ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරවාසී සියඔලාපේ අමිතරංෂි (20) යන භික්ෂූන් වහන්සේලා සහ බෙන්තොට පොලීසියේ පොලිස් කොස්තාපල් භාතිය (103225) යන තිදෙනාය. මෙයින් පොලිස් කොස්තාපල්වරයා බෙන්තොට ප්‍රාදේශීය රෝහලේත් භික්ෂූන් වහන්සේලා දෙනම කළුතර නාගොඩ මහ රෝහලේත් ප්‍රතිකාර ලබන බව බෙන්තොට පොලීසිය කියයි. මෙයින් එක් භික්ෂූන් වහන්සේ නමකගේ හිසට තියුණු ආයුධයකින් පහරදී තිබෙන බවත් එම භික්ෂූන් වහන්සේගේ තත්ත්වය තරමක් බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. අනෙක් භික්ෂූන් වහන්සේගේ පාදයකට බරපතල හානි සිදුව තිබෙන බවද කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය විසින් වෑවල හොරණ ඉසිපතනාරාම විහාරවාසී ගල්තුඩුවේ සුනන්ද නැමැති ස්වාමින් වහන්සේ නමකට පවරා දෙන ලදැයි කියන ලිපියක් හේතුවෙන් ගල්තුඩුවේ සුනන්ද හිමියන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා දෙනමත් සමග ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට පසුගිය පෙරේදා (14) සවස පැමිණ තිබේ. මෙම විහාරස්ථානය සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් බව කියමින් අස්ගිරි පාර්ශවයේ පුත්තලම දිසාවේ සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් (45), ඉත්තෑපානේ සුමන (68) හිමියන් හා ප්‍රදේශවාසී ගිහි පිරිසක් සමග පෙරේදා (14) සන්ධ්‍යාවේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට පැමිණ තිබේ. එහිදී දෙපාර්ශවය අතර ඇති වූ කතා බහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් මෙම පහර දීම සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම පහර දීම පෙරේදා (14) රාත්‍රි 9.30 ට පමණ සිදුව තිබෙන බවද බෙන්තොට පොලීසිය කියයි.

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් තමාට තියුණු ආයුධයකින් පහර දුන් බවට වෑවල, හොරණ ඉසිපතනාරාම විහාරවාසී තම්ජන්තැන්නේ හේමානන්ද හිමියන් (17) පොලීසියට ප්‍රකාශ කර තිබේ. ආරවුල බේරීමට ගිය බෙන්තොට පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා ඇත්තේ හෙල්මට් වලින් හා ගල් මුල් වලින් පහර දීමෙන් බවත් මෙම ආරවුලට 300 ක පමණ පිරිසක් විහාරස්ථානයට පැමිණ සිටි බවත් බෙන්තොට පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ආරවුලට මැදි වූ ඉත්තෑපානේ සුමන (68) හිමියන් හා සියඔලාපේ අමිතරංෂි (20) හිමියන් යන දෙනමම තමන්ගේ විහාරස්ථානය ලෙස ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය නම් කරන බවද බෙන්තොට පොලීසිය කියයි.