හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් මහාධිකරණයට අභියාචනයක්

0
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය වී බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තමන්ට පනවා ඇති දණ්ඩන ඉවත දමා සියළු චෝදනවලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය.

වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන්නැයි ඉල්ලමින් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා මාර්ගයෙන් ගොනු කළ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරිවරියට බාරදුන් නීතීඥවරු අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්ද කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

මහාධිකරණ විනිසුරුවරයා තමන් වරදකාරිය කරමින් නිකුත් කළ තීන්දුව දෝෂ සහගත බවත් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ විනිසුරුවරයා සැළකිල්ලක් දක්වා නැති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වරදකාරිය කරමින් දුන් තීන්දුව හා තමන්ට පැනවු දඬුවම් ඉවත දමා සියළු චෝදනා වලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඇය ඉල්ලා සිටින්නීය.

මෙම අභියාචනා පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන 04 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා වගඋත්තරකාර නීතිපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණී.