හෙරොයින් ජාවාරම්කාර විශ්‍රාමික යුද්ධ හමුදා මේජර්වරයෙකු අත් අඩංගුවට

0
හෙරොයින් ජාවාරම හමුදා මේජර්වරයෙකු

අම්බලන්ගොඩ, කහවේ නිවසකින් රුපියල් ලක්ෂ 26 ක් වටිනා විදුලි උපකරණ හා සරනේරු තොගයක් සොරකම් කරන ලද දකුණේ ප්‍රබල පාතාල කල්ලියකට සම්බන්ධ හෙරොයින් ජාවාරම්කාර විශ්‍රාමික යුද්ධ හමුදා මේජර්වරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 4600 ක් සමග අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බලකායේ සේවය කර විශ්‍රාම ලැබූ මේජර්වරයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

සිය සහෝදරයා විසින් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යෑම සදහා ඩුබායි රටේ සිට මෙරටට එවන ලද පෑෂර් ලයිට්, වයර්, විදුලි උපකරණ හා සරනේරු තොගයකින් රුපියල් ලක්ෂ 26 ක් වටිනා දේපල සොරකම් කර තිබෙන බවද පැමිණිල්ලේ සදහන් වේ.

සිය නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින සැකකරු විසින් මෙම සොරකම් කර තිබෙන බවට තොරතුරු තිබෙන බවත් ඔහු විසින් නිවසේ තිබූ පෑෂර් ලයිට් එකක් විකිණීමට කල උත්සාහයක් සම්බන්ධයෙන් තම මිතුරෙකු මාර්ගයෙන් තොරතුරු ලැබුණ බවත් පැමිණිලිකරු විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව සොරකම් කරන ලද දේපල වලින් රුපියල් ලක්ෂ 06 ක පමණ දේපල සොයා ගත් බවත් ඒවා සැකකරුගේ නිවසේ රහසිගතව සගවා තිබූ බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. සැකකරු සන්තකයේ තිබූ හෙරෙයින් සම්බන්ධයෙන්ද අම්බලන්ගොඩ පොලීසිය මගින් කරන ලද විමර්ශණ වලදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්දව්‍ය ජාවාරම්කරුවෙකු වන අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ මත්දව්‍ය  සැකකරු විසින් ජාවාරම් කර තිබෙන බවට පරීක්ෂණ වලදී අනාවරණය වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකරු ‘සමන් කොල්ලා’ නැමැති අයගේ හෙරොයින් ජාවාරම් කර ඊෂි කෑෂ් ක්‍රමයට හා බැංකු ගිණුම් අංකයකට මුදල් ලබාගෙන තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම සැකකරු දකුණේ පාතාල කණ්ඩායම් හා එක්ව මිනිස් ඝාතන සදහා සම්බන්ධ වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙම සැකකරු යුද්ධ හමුදාවේ සේවය කර තිබෙන බැවින් ආයුධ පරිහරණය සම්බන්ධයෙන් මනා පල පුරුද්දක් තිබෙන බවත් එම නිසාම මෙම සැකය ඇතිව තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.