හිටපු අමාත්‍යවරයාගේ රියදුරා රිමාන්ඩ්. පෙර වැරදි රැසකුත් හෙළිවේ.

0
අමාත්‍යවරයාගේ රියදුරා

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට මරු කැඳවූ අනතුර වන අවස්ථාවේදී V-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවූ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමට අද (26) වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියෝගකර තිබෙනවා.

කන්ටේනර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඳාන පොලිසිය සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්‍ෂ 05ක ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහුව මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමට නියමකළ බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් රථයේ වේගය සම්බන්ධයෙන් කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලිසියේ නිලධාරින් පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පැයට කිලෝමීටර් 138 ඉක්මවන වේගයකින් ධාවනය කර තිබූ බවයි.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීම සඳහා කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලීසිය අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර එම වාර්තාව ඉදිරි සතිය තුළදී ලැබීමට නියමිත බව පොලීසිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ V-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයෙහි රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.

අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පතිවරයා වරයා විසින් ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබේ.

අමාත්‍යවරයාගේ රියදුරාගේ පෙර වැරදි රැසක්

2023 – 12 – 29 වාර්ථා වූ පුවතක්

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජිප් රථයට සහ ඇමති ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක් සිදු කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජිප් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් 12 – 29 පෙරවරුවේ මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු ව තිබිණි.

අදාළ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා ද ජිප් රථය තුළ සිට ඇති අතර, අනතුරත් සමඟ මෝටර් රථයේ රියදුරු විසින් ජීප් රථයට සහ එහි සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහර දී ඇති බව පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු සහ පහරදීම සිදු කළ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනාම අත් අඩංගුවට ගෙන තිබේ.

සනත් නිශාන්තගේ රියදුරු නිසා මීට වසරකුත් මාස තුනකට පෙර සිදුවූ මරණය

මීට වසරකුත් මාස තුනකට පමණ පෙර පසුගිය 2022 ඔක්තෝබර් 15 වැනිදා සනත් නිශාන්ත ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ රියදුරු අපරීක්ෂාකාරී රියපැදවීමක නිරතවී මෙම අනතුර සිදුකර තිබුණි.

පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිටත රවුම් පාර මාර්ගයට ආසන්නයේදී ඩයිඩෝ වර්ගයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථයක් ඉස්සර කිරීමට
රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථය උත්සාහ දරා තිබූ අතර එම අවස්ථාවේ එහි ගැටීමෙන් භාණ්ඩ ප්‍රවාහන රථය පෙරළී එහි ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබුවේය.

රාජ්‍ය ඇමතිවරයාගේ රථය කඩිමුඩියේ පුත්තලම නගරය දෙසට එමින් තිබියදී මෙම අනතුර සිදුවිය.

බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා සති දෙකකට පසු 30දා සවස මියගොස් තිබේ.

මෙසේ මරණයට පත්ව තිබුනේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි මොහොමඩ් සිහාම් නමැත්තෙකි. ඔහු දෙදරු පියකු විය. දරුවන් දෙදෙනා පුත්තලම ෆාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්නන් විය.
මියගිය පුද්ගලයා ඩයිඩෝ යතුරුපැදියෙන් ජලය රැගෙන ගොස් අලෙවි කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.

අනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයකින් ඇප මත මුදා හැර තිබුණි.

අනතුරට හේතුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඇති දැඩි අඳුරු ස්වභාවය ?

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරණයට පත් කරමින් සිදුකරමින් සිදු වූ රිය අනතුරට හේතුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඇති දැඩි අඳුරු ස්වභාවය දැයි සැකයක් ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් මාර්ගය දෙපස භූගත විදුලි රැුහැන් කපාගෙන යාම නිසා විදුලි ලාම්පු කණු සවිකර ඇතත් මාර්ගය දැඩි අඳුරේ පවතින බවයි.

මෙම සොරකම් වැළැක්වීමට පොලීසිය ද මැදිහත් වී දැඩි උත්සාහයක් ගත්තද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන පුද්ගලයන් යළි යළිත් එම කටයුත්තේම නිරත වීම හේතුවෙන් අධිවේගී මාර්ගය මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ.