කරාපිටිය ශික්ෂණ රෝහලේ කලහකාරී විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

0
කරාපිටිය ශික්ෂණ රෝහලේ

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ 61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකි.

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් සිදුකළ සංකේත වර්ජනය අවසන් වීමෙන් පසුව ඊයේ (17) පෙරවරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් යළි සේවයට වාර්තාකර තිබුණි.

එහිදී වර්ජනයෙන් රෝහලේ කටයුතුවලට බාධා එල්ලවූ බවට චෝදනා කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයා එහි කනිෂ්ඨ කාර්යමණ්ඩලයට බැණවැදී ඇති බව වාර්තා විය.

සිදුවීම ඒ අසල සිටි අයෙක් රූගත කර තිබුණි.

අනතුරුව එහි නොසන්සුන්තාවක් හටගත්තේය.

එහිදී අදාළ විශේෂඥ වෛද්‍යවරයා රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පරුෂ වචනයෙන් බැණවැදී පහරදීමක් සිදුකළ බවට චෝදනා එල්ලවූ අතර, පහරකෑ බව කියන සුුළු සේවිකාව ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත්වී තිබේ.

සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වැඩ වර්ජනයක් ආරම්භ කළ කනිෂ්ඨ කාර්යමණ්ඩලය විරෝධතාවකද නිරත වුණි.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව නිවේදනයක් නිකුත් කර තිබුණි.

අදාළ සංගමය ඉන් පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් පසුගිය 16 වනදා සිදුකළ ශල්‍යකර්මයකට එම දිනයේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනයෙන් බාධා එල්ලවී තිබූ බවය.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අදාළ අංශ දැනුවත් කර තිබූ බවත් නිවේදනයේ සඳහන් ය.

ඊට එරෙහිව සෞඛ්‍ය සේවකයින් පිරිසක් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පසුගිය 17 වනදා තර්ජනය කර ඇති අතර එම කණ්ඩායම විසින් අඛණ්ඩව ඔහුට එරෙහිව ජීවිත තර්ජන පවා එල්ල කළ බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර කරාපිටිය රෝහලේ කනිෂ්ඨ සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දහවල් තාවකාලිකව අවසන් කෙරුණේ රෝහල් අධ්‍යක්ෂවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

මෙවන් පසුබිමක සැකකාර විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කෙසේවෙතත්, සැකකාර විශේෂඥ වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු වෛද්‍යවා ර්තාව පිළිගත නොහැකි බව පැවසූ විනිසුරුවරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අද පස්වරුවේ එම රෝහලට පැමිණියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර විශේෂඥ වෛද්‍යවරයා මෙම මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.