පාසල් වියේ දරුවන් 16% අතර HIV ඒඩ්ස්

0
පාසල් වියේ දරුවන්

2023 ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව අපට අසන්නට ලැබී ඇත්තේ සිත කළඹන ආරංචියකි. ඒ ලංකාව තුළ පාසල් වියේ දරුවන් අතර ඒඩ්ස් ආසාදන තත්ත්වය වාර්තා වීම ඉහළ ගොස් ඇති බවටය. ඒ අතර බහුතරයක් පිරිමි දරුවන් වීම ඛේදවාචකයකි. 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී කරුණු දැක්වූ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය පෙන්වා දී ඇත්තේ 2018 පමණ සිට අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙන බවය. 2022 දී හඳුනාගත් නව එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 73 දෙනකුම මේ තරුණ ප්‍රජාවට අයත් වූ පිරිසය. ඒ සියයට 12ක ප්‍රතිශතයකි. ඒ අතරින් 66 දෙනකුම පිරිමින්ය. තරුණ පරපුර අතර එච්.අයි.වී. වළක්වා ගැනීම ඉතා වැදගත් බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරිය තමන්ගේ ලිංගික සම්බන්ධතාව විශ්වාසවන්ත සහකරුවකු හෝ සහකාරියක සමඟ පැවැත්වීමත්, වෙනත් ආකාරයක ලිංගික සම්බන්ධතා පවත්වන විට නිතරම ආරක්‍ෂිත උපක්‍රමයක් හැටියට කොණ්ඩමයක් භාවිත කිරීම වැදගත් බවත් අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහන මගින් රැස්කළ ශ්‍රී ලංකාවේ HIV/AIDS නිරීක්ෂණ දත්ත අනුව, 2023 වසර ආරම්භයේ ඒඩ්ස් ආසාදිතයන් 5011ක් වාර්තා වී තිබුණු අතර මුල් කාර්තු 3 අවසාන වන විට ආසාදිතයන්  5496ක් වාර්තා වී තිබේ. මුල් කාර්තු 3 තුළ මරණ 43ක් වාර්තා වී තිබේ. මේ අනුව මේ වසර අවසානය වන විට ආසාදිත පිරිස 6000ට ආසන්න වීමේ ප්‍රවණතාවක් පවතින බව දත්ත මගින් සනාථ වේ.

2023 වසරේ මුල් කාර්තුව තුළ 165 දෙනෙක් අලුතෙන් ආසාදිතයන් අතරට එක්ව සිටිති. ඒ අතර සිටි වයස අවුරුදු 15ත්-25ත් අතර පිරිස 25කි. ඉන් 22ක්ම පිරිමින්ය. දෙවැනි කාර්තුව තුළ තවත් 181ක් මේ ගොඩට එක්වූ අතර ඒ අතර වූ වයස අවුරුදු 15ත්-25ත් අතර පිරිස 29 කි. ඉන් 23ක්ම පිරිමින්ය. ජූලි සිට සැප්තැම්බර් අතර කාලයේ ආසාදිතයන් 139ක් අලුතෙන් වාර්තා වී ඇත. ඒ අතර සිටි වයස අවුරුදු 15ත්-25ත් අතර පිරිස 25 කි. ඉන් 24ක්ම පිරිමින්ය. ඒ අනුව 2023 මුල් කාර්තු 3 අවසන් වන විට ආසාදිතයන් 485ක් වාර්තා වී තිබේ. ඉන් 79ක්ම වයස අවුරුදු 15ත්-25ත් අතර පිරිස පාසල් වයසේ පිරිස වෙති. ඒ සමස්ත ආසාදිතයන් අතර සියයට 16.3ක නියෝජනයකි.

2022 වසරේ දත්ත අනුව ඒ වසරේ කාර්තු 4 තුළදී ඒඩ්ස් ආසාදිතයන් 607ක් අලුතෙන් වාර්තා වී ඇති අතර සිදුවූ මරණ ගණන 66 කි. ඉන් වයස අවුරුදු 15ත්-25ත් අතර පිරිස 74ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙය සමස්ත ඒඩ්ස් ආසාදිතයන් අතරින් සියයට 12-2ක ප්‍රතිශතයක නියෝජනයකි.

ඒ අනුව පාසල් වයසේ කණ්ඩායම් තුළ මේ අන්දමට ඒඩ්ස් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බව මේ දත්ත පෙන්වා දෙයි. මේ තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ලිංගික අධ්‍යාපනය සහ ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් බවත් ඒ සඳහා කඩිනම් පියවර ගැනීම අවශ්‍ය බව අවධාරණයට ලක්ව තිබේ. දිවයිනේ සියලුම ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ඇති ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන සායන 41ක් මගින් ඕනෑම අයකුට සිය පෞද්ගලිකත්වය ද රුකගෙන මේ උපදෙස් ලබාගත හැකි අතර ප්‍රතිකාර ද ලබාගන්නට හැකිය. එමෙන්ම උපත්පාලන කොපු නොමිලේ බෙදා දීමද මේවායේදී සිදු කෙරේ.

ඒඩ්ස් හෙවත් HIV අසාදනය වන ප්‍රධාන ක්‍රම 3 කි. එනම් මූලිකවම HIV ආසාදිතයකු සමඟ පවත්වන අනාරක්ෂිත ලිංගික සංසර්ගය මගින් මේ සඳහා වඩා වැඩි අවදානමක් පවතී. දෙවැනි අවදානම වන්නේ රෝගියකුගේ රුධිරය නිරෝගී ශරීරයකට ඇතුළු වීමෙනි. එසේම ආසාදිත මවකගෙන් උපදින දරුවාට ද ආසාදනය විය හැකිය. ආසාදිත මවගෙන් උපදින දරුවාට ආසාදනය වීමට 15% ක 45% ‍ක පමණ ප්‍රවණතාවයක් පවතින බව වාර්තා වේ.

මීට අමතරව HIV ආසාදනය වන තවත් ක්‍රම හඳුනාගෙන ඇති අතර එලෙස HIV වෛරසය ආසාදනය වීමට ආසාදිතයකුගේ රුධිරය හෝ වෙනත් දේහ තරල හෝ   නිරෝගි පුද්ගලයකුගේ ශරීරයට ඇතුළුවීම සිදුවිය යුතුය. ආසාදනය වූ පුද්ගලයකුගේ ඉතා කුඩා තුවාලයක් හෝ සීරීමකින් ආසාදිත රුධිරය තවත් කෙනකුගේ ශරීරයට ඇතුළු වූ විට HIV ආසාදනය වේ. විශේෂයෙන් රුධිර පාරවිලනයක දී එන්නත් කටු භාවිතයේ දී, ශරීර අවයව බද්ධ කිරීම්වලදී මත්ද්‍රව්‍ය විදගැනීමේදී ද HIV ආසාදනය වීමේ අවදානමක් පවතී.

මෙයාකාරයෙන් ආසාදනය විය හැකි HIV රෝගය වසංගත රෝගයක් මෙන්ම පාලනය කළ නොහැකි සමාජ බියක් ඇතිකරගත යුතු තත්ත්වයක් නොවේ. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මෙන්ම භාවිත කරන එන්නත් කටු යනාදිය ජීවානුහරණය කිරීමෙන් මෙන්ම සෑම අවිශ්වාස සහගත සම්බන්ධයකදීම උපත්පාලන කොපු භාවිතය මගින් රෝගය ව්‍යාප්ත වී සෞඛ්‍යමය සහ සමාජ ආර්ථික ගැටලුවක් බවට පත්වීම පාලනය කරගත හැකි බව විශේෂඥ මතයයි.

මතක තබාගත යුතු වැදගත්ම කරුණ නම් මේ යුගයේ භයානකම රෝගය පාලනය කර ගනිමින් එය සමඟ ජීවත්වීමට හැකි වුවද එය වැළැක්වීමට හෝ නිට්ටාවට සුව කළ හැකි හෝ ඖෂධයක් තවමත් නැති බවය. එහෙයින් මේ රෝගය නිසැක මාරකයකි.

I සුගත් පී. කුලතුංග ආරච්චි