දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු හෙළිවේ

0

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මඟින් පත් කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත බාර දී තිබේ.

ඒ අනුව එම විශේෂඥ වෛද්‍ය කමිටු වාර්තාව සහ මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් හේතුවෙන් සිදු වී ඇති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බව පැවසූ මහේස්ත්‍රාත්වරිය, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින් ගේ මතය මෙම තීන්දුව දීම සඳහා පදනම් කරගත් බව මසේත්‍රාත්වරිය සඳහන් කරයි.

එම කමිටුවේ සාමාජිකයන් ගේ මතය 04ට 01ක් ලෙස සඳහන් ව තිබූ බව ද මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ පැවසීය.

පැමිණිල්ල මාර්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරුණු අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මේ අතර, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණය ගැන සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව මඟින් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ,  මරණය සිදු ව ඇත්තේ, සයනයිඩ් ශරීරගත වීමකින් ද නැතහොත් ගෙල සිර කිරීමකින් ද යන්න පිළිබඳවයි.

ඒ අනුව සිදු කළ සොයා බැලීමේ දී අනාවරණ වී ඇත්තේ, ෂාෆ්ටර් මහතා රෝහල්ගත කරන විටත් ඔහු ගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වී තිබූ බවයි.

ඒ අනුව හෘදය වස්තුව අකර්මණ්‍ය වීම සයිනයිඩ් ශරීරගත වීමෙන් සිදු ව නොමැති බවට කමිටුව නිගමනය කර තිබේ.

අනතුරු ව ෂාෆ්ටර් මහතා ගේ දේහය ගොඩගෙන සිදු කළ පටක පරීක්ෂාවේ දී ගෙලෙහි හා මුහුණෙහි වූ සීරීම් තුවාල හේතුවෙන් කමිටුව තීරණය කර ඇත්තේ, ගෙලෙහි ඇති වූ පීඩනයක් හේතුවෙන් හෘදය වස්තුව අකර්මණ්‍ය වී ඇති බවයි.

ෂාෆ්ටර් මහතා ගේ මුඛයෙන් සයනයිඩ් ශරීරගත වී ඇති නමුත් මරණය සිදුවීම සඳහා ප්‍රමාණවත් සයනයිඩ් ප්‍රමාණයක් ශරීරගත වී නොමැති බවත් අදාළ වාර්තාවේ සඳහන්ය.

කෙසේ වෙතත් ෂාෆ්ටර් මහතා ගේ ගෙල සිරකිරීම තන්තුවක් යොදා ගනිමින් සිදු කළේ ද නැතහොත් අතකින් සිදු කළේ ද යන්න නිශ්චිත ව සඳහන් කළ නොහැකි බව කමිටු වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මෙය ස්වාභාවික මරණයක් නොව තුන් වැනි පාර්ශ්වයක් විසින් සිදු කළ මරණයක් බවත් ශරීරයට ඔක්සිජන් අඩු වීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බවත් කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වේ.