නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරඟයෙන් ඕස්ට්‍රේලියාවට සුපිරි ජයක්

0
නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය  පැවැත්වුණි.

එම තරගය ලකුණු 309කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 104 රැස්කළ අතර එය ඔහුගේ 22 වන එක්දින ජාත්‍යන්තර ශතකය එය වෙයි.

පන්දු 93කට මුහුණදුන් වෝනර් එහිදී 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කළේය.

ස්ටීව් ස්මිත් පන්දු 68කදී ලකුණු 71යි.

මානස් ලබුශේන් ලකුණු 62යි.

මේ අතර ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 43කදී ලකුණු 106ක් ලබාගත්තේය.

ඊට 4 පහර 9ක් සහ 6 පහර 8ක් ඇතුළත් විය.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස මැක්ස්වෙල් ගේ ඉනිම ඉතිහාසගත විය.

පන්දු යැවීමේදී බැස් ඩී ලීඩ් ගේ පන්දු ඕවර 10ට ලකුණු 115ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත්විය.

එයද ලෝක කුසලාන තරගාවලියේ වාර්තාවකි.

ලකුණු 400ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තය පන්දුවාර 21ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 90ක් පමණි.