ඇඟලුම් කම්හල් සේවිකාවකගේ ගිණුමකින් හැකර් වරයෙක් ලක්ෂ 17 කට විදලා

0
ඇඟලුම් කම්හල් සේවිකාවකගේ ගිණුමකින්

කොග්ගල රාජ්‍ය බැංකුවක ගිණුම් පවත්වාගෙන යන ගිණුම් හිමියන්ගේ තොරතුරු ඇතුළත් පරිගණක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇඟලුම් කම්හල් සේවිකාවකගේ ගිණුමකින් රුපියල් දාහත් ලක්ෂයකට අධික මුදලක් වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී එම මුදල් මඩකලපුව, අක්කරපත්තුව සහ කොළඹ ප්‍ර‍දේශවල පුද්ගලික බැංකු කිහිපයක ගිණුම් හිමියන් කිහිප දෙනකුගේ ගිණුම්වල තැන්පත් වී ඇතැයි අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර එම ගිණුම් පිළිබඳ වාර්තා සහ කොග්ගල බැංකුවේ ගිණුම් වාර්තා ගැනීමට පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල පොලිසිය පවසයි.

මාපලගම පදිංචි ඇඟලුම් කම්හල් සේවිකාවක විසින් පවත්වාගෙන ගිය ඉතිරි කිරීමේ ගිණුමෙන් මෙම මුදල හැක් කර තිබේ.
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඇය වැටුපෙන් එකතු කරගත් රුපියල් ලක්ෂ 13කින් කොග්ගල රාජ්‍ය බැංකු ශාඛාවක ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යමින් සිටියදී ඇඟලුම් කම්හල වසා දැමීම නිසා ඇයට රුපියල් ලක්ෂ 16ක වන්දියක් ද ලැබී තිබේ.

එම මුදල ද සමඟ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලින් ඇය පසුගිය වසරේ ජුලි මාස‍යේ ලක්ෂ 15ක ස්ථාවර ගිණුමක් ආරම්භ කර ඇත. මෙම වසරේ ජුලි මස ස්ථාවර ගිණුමට කල් පිරීමෙන් පසු ඇය ලක්ෂ දහයක් ලබාගෙන ඉතිරි ලක්ෂ 20කට ආසන්න මුදල ගිණුමේ තිබියදී පසුගියදා ඇය ගිණුමේ ඇති මුදලින් යළිත් ලක්ෂ 15ක ස්ථාවර ගිණුමක් ආරම්භ කිරීමට බැංකුවට ගොස් ඉල්ලුම්පත්‍ර පුරවා දුන් පසු බැංකුව පවසා ඇත්තේ ගිණුමේ ඇත්තේ රුපියල් විසි එක්දහසක් පමණක් බවය.

එවිට ඇය බැංකුවේ කළමනාකාරිණිය හමු වී මේ ගැන පැවසු විට කළමනාකාරිණිය පරීක්ෂා කර බලා පවසා ඇත්තේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 17කට අධික මුදල හැක් කර ඇති බවය. පසුව ඇය මේ පිළිබඳ ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.

ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ, මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා, උප පොලිස් පරීක්ෂකවරුන් වන උදය කාන්ත, ප්‍රේමකුමාර කාන්තා සැරයන් ජයවර්ධන (6058) යන මහත්ම මහත්මීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.