ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් නිසා ශ්‍රී ලාංකිකයෙක්ට තුවාල තවත් අයෙක් අතුරුදන්. කඩිනමින් සහන සලසන්න ජනපතිගෙන් උපදෙස්.

0
ඊශ්‍රායල සහ හමාස් සංවිධානය

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද දෙරණට පැවසුවේ එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බවය.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණි.

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවය.

එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවය.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716640560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කළ හැකිය.

එමෙන්ම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන්නේ නැති නම් ඔවුන්  පිළිබඳව තොරතුරු ලබාගැනීමට 1989 අංකය අමතා දැනුම් දෙන ලෙසද ඒ මහතා පැවසීය.

ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග

ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් පැවසීය.

මීට අමතරව සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පයට ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය යළිත් තහවුරු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සිවිල් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කරමින් පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය විසින් හෙළා දකින බව ද ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් විවේචන එල්ල වුව ද මෙවැනි ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමයේ යෝජනාවට අනුව මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

දැනට පවතින මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.