2023 යුරේකා සම්මානය ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය කරු එස්සැල්ලේට

0
2023 යුරේකා සම්මානය

ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදාගැනීම වෙනුවෙන් 2023 යුරේකා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය කරු එස්සැල්ලේ මහතා සමත්වී තිබේ.

යුරේකා සම්මාන උළෙල යනු ඔස්ට්‍රේලියාවේ විද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානයයි.

පර්යේෂණ, නවෝත්පාදන, නායකත්වය, විද්‍යා කටයුතු සහ පාසල් පද්ධතිය තුළ විද්‍යාව ඇතුළු කාණ්ඩ 18ක් යටතේ මෙම සම්මාන උළෙලේදී ඇගයීම් සිදුකෙරෙන අතර මෙය සැලකෙන්නේ විද්‍ය ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල ලෙසය.

මහාචාර්ය කරූ එස්සැල්ලේ මහතා නායකත්වය ලබාදෙන සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මෙම ජයග්‍රාහී MetaSteerers නම් පර්යේෂණ කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පර්යේෂකයින් කිහිප දෙනෙකු අයත් වෙයි.

ඔවුන් මෙම සම්මානනීය පර්යේෂණය වසර 4ක් පුරා සිදුකර ඇති අතර එම පර්යේෂණ ප්‍රතිඵල ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට ඉතා වැදගත් බැවින් ඔවුන් මෙලෙස සම්මානයට පාත්‍රවී තිබේ.

මෙම පර්යේෂණ ඇසුරින් සොයා ගත් ක්‍රමය Meta steering නම් වන අතර ඒ හේතුවෙන් ඔහු ඇතුළු පර්යේෂණ කණ්ඩායම MetaSteerers ලෙස නම් කර ඇති බව වාර්තා වෙයි.

මෙම නව ක්‍රමය මගින් ඇන්ටනාවක් වෙත පැමිණෙන කිරණවල දිශානතිය වෙනස් කරන බව සඳහන් ය.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන පර්යේෂණ ප්‍රතිඵලයක් වන මෙහි හෙළි කළ හැකි තොරතුරු සීමා සහිත බවය.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍ය උපාධිධාරියෙක් වන මහාචාර්ය කරූ එස්සැල්ලේ මහතා, මේ වනවිට සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යුත් චුම්බක සහ ඇන්ටනා ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.

ඔහු ලොව ප්‍රකටව සිටින්නේ, විදුලි සංදේශ, ආරක්ෂක සහ අභ්‍යවකාශ තාක්‍ෂණයන්හි ලොව ප්‍රමුඛයෙක් ලෙසය.

කරූ එස්සැල්ලේ මහතා මේ වනවිට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසකට හිමිකම් කීමට සමත්වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරුවරයෙකුට ලබාදෙන උසස්ම සම්මානය වන Professional Engineer of the year සම්මානය 2022 වසරේ දිනාගන්නේද එස්සැල්ලේ මහතාය.

එමෙන්ම 2022 වසරේ දී Australia Space Award සම්මාන උළෙලේ දී Academic of the year සම්මානය හිමිවී ඇති අතර එහිදී සම්මාන ලැබූ සියල්ලන්ගෙන්ම විශිෂ්ටතමයාට පිදෙන “Best of the winners” Excellence award සම්මාන හිමිකර ගැනීමට ද ඔහු සමත් විය.

සිය වෘත්තිය දිවිය තුළ ඔහු දිනා ඇති සම්මාන ගණන 25කට අධික වන අතර ඔහුට AWARD MAGNET යන අන්වර්ථ නාමය ලැබීමට එය හේතුවී තිබේ