
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිඳියාව සහ උතුරු නැඟෙනහිර සංවර්ධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ජූලි 26 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබිණි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම තම අරමුණ වුවද එය ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම දේශපාලනඥයන්ගේ වගකීම බවටය.
පොලිස් බලතල නොමැතිව සෙසු බලතල පළාත් සභාවලට ලබා දිය යුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. පවතින පොලිස් ආඥා පනත අනුව පළාත් සභාවලට පොලිස් බලතල ලබා දිය නොහැකි හෙයින් පොලිස් බලතල ලබා දෙන්නේ නම් ඒ සමඟ නව පොලිස් පනතක් ඉදිරිපත් කළ යුතු වන බවද ඔහු සඳහන් කළේය. පොලිස් බලතල හැර අනෙකුත් සියලු බලතල පළාත් සභාවලට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට ලැබෙන අදහස් අනුව ඒ සඳහා අවශ්‍ය නීති හා ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
දකුණේ පක්ෂ මෙන්ම උතුරේ දෙමළ පක්ෂ අතරද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවක් නොවීය. ඔවුන් කියා සිටියේ සියල්ලට කලින් පළාත් සභා මැතිවරණය පවත්වා ඉන්පසු 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවටය. කෙසේ නමුදු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ආණ්ඩුවෙන්ම විරෝධතාවක් පැන නැඟිණි. පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ 13 යටතේ පූර්ණ බලතල ලබා දීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවත්, ජනාධිපතිවරුන් 7 දෙනෙක් යටතේ ලබා නොදුන් දෙයකට ජනාධිපතිවරයාට මැදිහත් නොවිය යුතුය බවත්ය. පසුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට බෙදන කිසිදු ක්‍රියාවකට හෝ එවැනි මතයක සිටින පුද්ගලයකුට හෝ උදවු නොකරන බවයි. රට ආර්ථික වශයෙන් වැටී ඇති අවස්ථාවක 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම එතරම් ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවන අතර රටක් වැටී සිටින අවස්ථාවක එය අස්ථාවර කිරීමට විදේශ බලවේග සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ දරන හෙයින් මේ අවස්ථාවේ එය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටින බවද සඳහන් කළේය. ජනාධිපතිවරයා බලය බෙදීම සම්බන්ධයෙන් හදිසියේ උත්සාහ කළද එය කිසිවකු හෝ ඉල්ලා සිටි දෙයක් නොව ජනාධිපතිවරයා විසින්ම ඉස්මතු කළ දෙයක් බැවින් බලය බෙදීම පසෙකට දමා රටේ පවතින සැබෑ ගැටලුව වන ආර්ථිකය නැංවීමට කටයුතු කරන ලෙසත් රට ස්ථාවර වූ පසු බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත් සඳහන් කළේය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 13 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ, 1987 වසරේදීය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස දෙමළ ජනතාවගේ ඉල්ලීම් දෙකක් වූ සමාන භාෂා අයිතිවාසිකම් සහතික කිරීම සහ පුළුල් ලෙස බලය බෙදා හැරීම ක්‍රියාත්මක කිරීම යන කරුණුවලට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විසඳුම් අපේක්ෂා කෙරිණි. ඒ අනුව, දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන අතර, ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන බවට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කෙරිණි. එමෙන්ම පොලිස් බලතල සහ ඉඩම් බලතල පළාත් සභා වෙත පැවරීමට ද යෝජනා විය.
ඉන්දියාව හා දෙමළ පක්ෂ විසින් වරින් වර ඉස්මතු කළද කලක් යටපත්ව තිබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීම සම්බන්ධයෙන් යළිත් කරළියට පැමිණියේ, 2023 ජනවාරි 15 වැනිදා යාපනයේදී පැවති තෛපොංගල් උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් පසුවය.
“අපි බලන්නේ දැන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි දකුණේත් ප්‍රශ්නයක්. දකුණේ මහ ඇමැතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි සාකච්ඡා කරලා ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. අද දිළිඳුකම, බඩගින්න, විරුකියාව දෙමළ අයටවත් සිංහල අයටවත් සීමා වෙලා නැහැ. අපි ඔක්කොම මේ ප්‍රශ්නවලින් ගොඩ ආ යුතුයි” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විරෝධයක් මතු වූයේ ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙනි. අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන හෙයින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
භික්ෂූන් වහන්සේ සඳහන් කළේ බලය බෙදීමට අවශ්‍ය වී ඇත්තේ දේශපාලකයන්ට විනා, ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය වැනි පොදු ගැටලුවලින් පීඩා විඳින දකුණේ හා උතුරේ ජනතාවට නොවන බවයි.
එම විරෝධය යළි පැන නැඟුණේ පසුගියදා පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුවෙන් පසු හා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් කරන ලද විවිධ ප්‍රකාශ හේතුවෙනි. විශේෂයෙන්ම පොලිස් බලතල සහ ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතු විය. බලය බෙදීමට පක්ෂව යම් පිරිසක් මත පළ කළද වැඩි පිරිසකගේ විරෝධය එයට එල්ල වී තිබේ. බලය බෙදීමට පක්ෂව අදහස් පළ කළ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ බලය මධ්‍යගත වීම නොව, එය විමධ්‍යගත විය යුතුය යන්න තමන් සැමදා දැරෑ මතය බවයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා එය අවශ්‍ය බවත් එහි ඇති අඩුලුහුඬුකම් සාකච්ඡා කළ යුත්තේ දෙවැනුව බවත් කෙසේ නමුදු ජනාධිපතිවරයා බලය බෙදීමක් සිදු නොකරන බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයා මුලින්ම කළ යුත්තේ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම බවත් එය සිදු නොකර බලය බෙදීමක් ගැන කතා කිරීම විහිළුවක් බවත් ඔහු සඳහන් කළේය. එහෙත් එම සභාගයේ සභාපතිවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරන්නේ වෙනත් මතයකි.
”ජනාධිපතිවරයා කියන්නේ සමගාමී ලැයිස්තුව ඉවත් කළ යුතු බවයි. මෙවැනි ව්‍යවස්ථා ඇති බොහෝ රටවල සමගාමී ලැයිස්තුව ක්‍රියාත්මක වෙනවා. සමගාමී ලැයිස්තුවත් අයින් කරලා 13 තියෙන බලතල සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්න බලය දුන්නොත්, අපේ රටේ හිටපු ජනාධිපතිවරුන් 7 දෙනෙක් නොකළ දෙයක් කරන්න ඉඩ දුන්නොත් මේ රටේ ඒකීයභාවය කිසි ලෙසකින්වත් ආරක්ෂා වෙන්නේ නැහැ. මෙතනදි බෙදෙන්නේ රටේ පරමාධිපත්‍යයේ බලයයි. පරමාධිපත්‍ය බෙදුණු පළාතක ක්‍රියාකාරීත්වයට මුදුනේ පාලනයෙන් බලපෑම් කරනවා, නියමානුකූලව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය ජාත්‍යන්තරයට ගියොත් නැගෙනහිර ටිමෝරය නිර්මාණය වූ ආකාරයට නිසැක ලෙසම අධිකරණ තීන්දුවකින් වෙන්වීමේ අයිතිය ලැබෙනවා.” යනුවෙන් සඳහන් කරයි.
පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේ ”13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට නම් ජනාධිපතිවරයා ඒ සඳහා ජනවරමක් ලබාගත යුතු බවයි.
”ඔහු ජනාධිපතිවරණයක් පවත්වා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටිය යුතුයි. මෙය රට බෙදීමට දරන උත්සාහයක් වන අතර බලය බෙදීමෙන් දකුණට උතුරත්, උතුරට දකුණත් අහිමි වෙනවා. උතුරු පළාත සහ නැඟෙනහිර පළාත ඒකාබද්ධ කරලා ඊළාම් රාජ්‍ය නිර්මාණය කිරීමට අවශ්‍ය භූමි ප්‍රදේශය නිර්මාණ කිරීමයි මින් සිදුවන්නේ. ලංකාවට අවශ්‍ය එක්සත් රටක් නෙමෙයි ඒකීය රාජ්‍යයක්. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ලබා දුන් ජනවරමයි. එම ජනවරම ලැබුණේ 13 නැති අලුත් ව්‍යවස්ථාවක් හදන්න කියලයි.” යනුවෙන් සඳහන් කළ සේක.
13 ක්‍රියාත්මක කළෙහොත් රටට සිදුවන්නේ කුමක්දැයි යනුවෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා සැරසෙන්නේ රටේ තුනෙන් එකක් වෙනම නිජභූමි සංකල්පය යටතට ගෙනවිත් 13 හරහා මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් නිර්මාණය කිරීම බවටය.
”13 ව්‍යවස්ථා සංශෝධනයේ ලැයිස්තු 3ක් තියෙනවා. ඉන් පළාත් සභා ලැයිස්තුවේ සහ සමගාමී ලැයිස්තුවේ විෂයන් 73ක් සම්බන්ධව නීති හදන්න පුළුවන්. පළාත් සභා ලැයිස්තුවේ තිබෙන විෂයන් 36න් පළමුවැනි විෂය තමයි පොලිස් බලතල. එම විෂයන් සම්බන්ධයෙන් පළාත් සභාවක් යම්කිසි නීතියක් හැදුවොත් ඒ සම්බන්ධයෙන් දැනට රටේ නීතියක් තිබේ නම් ඒ නීතිය අභිබවා පළාත් සභාව හදන නීතිය ක්‍රියාත්මක වෙනවා. දැනට පොලිස් බලතල සම්බන්ධයෙන් නීතියක් මුළු රටේම තියෙනවා. අපරාධ නඩුවිධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත තියෙනවා. 154 උ8 වගන්තිය අනුව පළාත් සභාව යම් පනතක් හැදුවොත් ඒ පළාත තුළ ක්‍රියාත්මක වන්නේ ඒ නීතිය මිසක් පාර්ලිමේන්තුව හදපු නීතිය නොවෙයි. එක රටක් එක නීතියක්ද එහෙම නැත්නම් ඒ ඒ පළාතේ නීති අනුව කටයුතු කරනවාද කියා සිතිය යුතුයි. පළාත් පොලිසිය යනු මහ ඇමැතිවරයා විසින් පාලනය කරන පොලිසියයි. යම් පළාතක් භාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කළ යුත්තේ මහ ඇමැතිගේ පාලනය යටතේයි. ජනාධිපතිවරයා කියනවා උතුරු නැඟෙනහිර පමණක් නොවෙයි දකුණේ දේශපාලකයනුත් මේ ක්‍රමයට කැමතියි කියලා. කවුද අකමැති වෙන්නේ තමන්ට පාලනය කරන්න පුළුවන් පොලිසියක් තියෙනවනං. මේ යන්නේ චෞර රාජ්‍යයක් හදන්නයි. 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළොත් පළාත් 9යේ මහ ඇමැතිවරු නව දෙනා පාලනය කරන පොලිසි 9ක් ඇතිවෙනවා. ඔවුන් තමයි නඩු පවරන්නේ. රටේ තිබෙන ජාතික පොලිසිය කරන්නේ ප්‍රභූවරුන් ආරක්ෂා කිරීම පමණයි. එමෙන්ම ඉඩම් සම්බන්ධයෙන් ද පළාත් සභාවට විධායක බලය පාවිච්චි කළ හැකියි. කිසියම් ආයතනයකට හෝ පුද්ගලයකුට ඉඩම් ලබා දිය හැක්කේ පළාත් සභාවේ උපදෙස් මත පමණයි කියලා 13 නවවැනි උපලේඛනයේ දෙවැනි පරිශිෂ්ඨයේ 1.3 වගන්තියේ සඳහන්. මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව අපගේ විරෝධය ප්‍රකාශ කළ යුතුයි.” යනුවෙන් සඳහන් කළේය.