දිනෙන් දින උණුසුම් වන දේශපාලන කරලිය

0
දිනෙන් දින උණුසුම්

රටේ සාමාන්‍ය ජනතාව බරපතල ආර්ථික අපහසුතා මැද එදිනෙදා කටයුතු සිදු කර ගැනීමේ දැඩි අර්බුදයක නිරත වෙද්දී දේශපාලන කරලිය මැතිවරණ ඉලක්ක කර ගෙන දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ . ඒ සඳහා මේ වන විට පිල් මාරු හා නව සන්ධාන රාශියක් කරලියට පැමිණෙමින් තිබේ.

චන්ද්‍රිකා – මෛත්‍රී යලිත් ශ්‍රීලනිප ශක්තිමත් කිරීමේ වෑයමක?

පසුගිය දිනවල බිහි වුනු නව සන්ධාන අතරේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් කරලීම සඳහා පාර්ශව කීපයක් එක්ව තිබේ. මේ සඳහා මෙතෙක් පැවති වාදබේද දුරලමින් ශ්‍රීලනිප නිර්මාතෘවරුන්ගේ දියණිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ ශ්‍රීලනිප වර්තමාන නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විට යම් එකඟතාවයකට පැමිණ තිබේ. මේ එකමුතුව තුලින් යලිත් පක්ෂයට සම්බන්ධවීමට පක්ෂයේ හිටපු ප්‍රබලයන් පිරිසක් දැනටමත් තීරණය කර තිබේ. පොහොට්ටුවේ සිටින බැසිල් විරෝධීන් ඒ අතරේ ප්‍රධානය. එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සම්බන්ධ වීමට අකමැති පිරිස් හා වාමාංශික දේශපාලකයන් රැසක් මෙම නව සන්ධානය වෙත එක වීමට නියමිතය. දේශපාලනයේ සදාකාලික මිතුරන්ද නැත. සදාකාලික සතුරන්ද නැත. බලය උදෙසා ඕනෑම පර්ශවක් එක කර ගත හැකිය. දේශපලලනයේ සදාකාලික සත්‍ය එයයි.

දයාසිරිගෙන් දේශපාලන පිම්මක් ? මහා ලේකම් ධූරයට දුමින්ද ?

ලබන සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන ශ්‍රීලනිප 72 වන සංවත්සරයට මේ බොහෝ දෙනෙකු සම්බන්ධවීමට නියමිතය. මෙවර ශ්‍රීලනිප සංවත්සරය කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට මුලදී නියම කර ගෙන තිබුනේ ශ්‍රීලනිප මහා ලේකම් දයාසිරි ජයසේකරගේ අවශ්‍යතාවය මතය. එහෙත් මේ වන විට එම සැලසුම වෙනස් කරමින් සංවත්සර උත්සවය ශ්‍රී ජයවර්ධනපුරදී පැවැත්වීමට තීරණය වී තිබේ.

මේ සිදුවීම නිසා දයාසිරි ජයසේකර දැඩි කලකිරීමට පත්ව සිටින බවටද රාවයක් පවතී. කෙසේ වෙතත් ඔහු මේ වන විට පිල් මාරුවකට සුදානම් වන බවටද බොහෝ දෙනා පවසති. පසුගිය දිනෙක ශ්‍රීලනිප නායකත්වයද දයාසිරිගේ විවේචනයට ලක්විය.
කලක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙස සැලකුණු දයාසිරි ජයසේකර යලිත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත ගියහොත් එය පුදුමයට කාරණයක්ද නොවේ.

මේ කරුණු කාරණා අනුව බලන කල මෙවර ශ්‍රීලනිප සංවත්සරයේදී ශ්‍රීලනිප මහා ලේකම් ධුරය සඳහා දුමින්ද දිසානායක යෝජනා කිරීමට තවත් පිරිසක් සුදානමින් සිටිති. දුමින්ද දිසානායක මෛත්‍රීපාල පාර්ශවයට මෙන්ම චන්ද්‍රිකා පාර්ශවයටද එකසේ හිතවත්ය. එම නිසා එවැන්නකු මහා ලේකම් ධුරයට පත් වුවහොත් අදාළ පාර්ශව වලට පවතින ගැටළු විසඳා ගැනීමට පහසු බව දුමින්දට මහා ලේකම් ධුරය ලබා දිය යුතු බවට පවසන පිරිසේ මතය වී තිබේ.

විපක්ෂ නායක ධුරය ගන්න නාමල්ගේ සැලසුම්

පොහොට්ටුවේ පාර්ශව අතර මත ගැටුම් අතරේ මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය මුලික කරගෙන ගන්නා තීන්දු දේශපාලන කරලිය උණුසුම් කර තිබේ. පසුගිය දිනෙක දකුණු පළාතේ එක්තරා නිවසක පැවති සුහද හමුවකදී මේ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවී තිබේ. එහිදී නාමල් රාජපක්ෂ හා නිපුන රණවක ආදීන් ප්‍රකාශ කර ඇත්තේ කෙසේ හෝ කුමන ආකාරයක හෝ මැතිවරණයක් ලබා ගත යුතු බවය. එවිට පොහොට්ටුවට මේ වන විට ඇති ඡන්ද පදනම බලාගත හැකි බව මේ පිරිසේ මතය වී තිබේ. යම් ලෙසකින් මහා මැතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුව තනිවම තරඟ කර ලැබෙන ආසන ප්‍රමාණය සමග විපක්ෂයට වුවද යාම මේ මොහොතේ වඩා සුදුසු බව මෙහිදී ඇතැමුන් ප්‍රකාශ කර තිබේ. පොහොට්ටුව විපක්ෂයට යන්නේ නම් විපක්ෂ නයක් ධූරය නාමල්ට හිමිවේ. විපක්ෂ නායකයා ලෙස වසර කීපයක් ගත කර දේශපාලන වශයෙන් පරිණතභාවයක් ලබා ගෙන ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නට ඇතැම් විට නාමල් සිතනවා විය හැක.

රනිල්ට ජනාධිපතිවරනයේදී සහය දෙන්නට අගමැති ධුරය බැසිල්ට ඕනෑ ?

මේ අතරේ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට හිතවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ සහය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබා දීමට නම් එයින් පසුව අගමැති ධුරය බැසිල් රාජපක්ෂට ලබා දිය යුතු බවය. පොහොට්ටුවේ සහය නොමැතිව රනිල්ට ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබා ගත නොහැකි බව පොහොට්ටුවේ බැසිල් වාදීන්ගේ මතය වී තිබේ. එහෙත් පොහොට්ටුවේ ලන්සාගේ සන්ධානයේ සහය දැනටමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිමිව තිබේ.

එහෙත් අගමැති ධුරය බැසිල්ට ලැබී නාමල්ට විපක්ෂනායක ධුරය ලැබීම සිදු විය නොහැක්කේ දෙදෙනාම පොහොට්ටුව නියෝජනය කරන නිසාය. මේ නිසා මේ දෙදෙනාගේ සිහින වලින් සාර්ථක වන්නේ කාගේ සිහිනය දැයි කීමට තවමත් වේලාසන වැඩිය. මේ අතර පසුගියදා කොළඹදී ජනාධිපති රනිල් සමග මහින්ද රාජපක්ෂ හමුවේදීද නාමල්ගේ අනාගතය සම්බන්ධයෙන් දෙදෙනා අතරේ අදහස් හුවමාරුවී තිබේ. ශ්‍රී ලාංකේය දේශපාලනයේ පැරණිම සහ බලගතුම මිතුරන් දෙදෙනා වන රනිල් හා මහින්ද තවමත් මෙරට දේශපාලනය උඩු යටිකුරු කල හැකි ආකාරයේ දක්ෂයන්ය.

රනිල් – සජිත් එක් කරන්න උත්සාහයක් ……..

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමට නම් ජනාධිපති රනිල් හා විපක්ෂ නායක සජිත් එක් විය යුතු බව සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ මතය වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ එකට එක්ව ගමනක් යා යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පසුගියදා ප්‍රසිද්ධියේම සඳහන් කළාය.
සියලු පක්ෂ නායකයන් එක ජාතික වැඩපිළිවෙළක් සඳහා මේ මොහොතේ එක් විය යුතු බවත්, රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු බව ජනතාව වෙතින් ද යෝජනා ඉදිරිපත් වන බව ද එම යෝජනා සාධාරණ බව තමන් අනුමත කරන බවත් ඇය පැවසුවාය.

ජාති ආගම් පක්ෂ ලෙස බෙදී වෙන් නොවී ඉදිරි වසර 25ක සඳහා රට ඉදිරියට ගෙන යෑමේ ජාතික සැලැස්මක් මේ මොහොතේ අවශ්‍ය බව ද ඇය තවදුරටත් කියා සිටියාය. රෝහිනීගේ සජිත් – රනිල් එකමුතු කිරීමේ වෑයමට තලතා,කබීර් ,එරං හර්ෂණ ඇතුළු පිරිසකගේ සහය හිමිවේ. මේ දෙදෙනා එක කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ද දැඩි උත්සාහයක නිරත සිටී.

රනිල් – සජිත් එක් වන්නේ නම් එවැනි වැඩපිලිවෙලකදී මේ කණ්ඩායම් දෙකේම සිටින දැඩි සජිත් විරෝධීන්ගේ සහ දැඩි රනිල් විරෝධීන්ගේ ආරක්ෂාව හා අනාගතය සම්බන්ධයෙන් නිසි වැඩ පිළිවෙලක් සකස් කල යුතුව තිබේ. දෙපාර්ශවයෙන්ම පලිගැනීම් සිදු නොකරන බවටත් නිසි තැන හා නිසි බලයක් ලබා දෙන බවටත් එකඟතාවයන් ඇති කර ගත යුතුය.

සජිත් දැඩි ස්ථාවරයක ……..

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ සති මැදදී විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ප්‍රකාශ කලේ ජන පීඩිත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බවය.

රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් ඔහු පැවසීය.
අයි නාලිකාවේ ප්‍රශ්නයට බන්දුලට කැබිනට් ඇමතිවරුන්ගේ විරෝධය …..

මේ අතර ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ලයිකා මොබයිල් සමාගම වෙත බදු දීම සම්බන්ධයෙන් වන ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනගේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබේ. එපමණක් නොව බන්දුල ගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කටයුතු කල ආකාරය කැබිනට් මණ්ඩලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු ප්‍රබල ඇමතිවරුන් ගණනාවකගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ. මෙම ගනුදෙනුවට ජනාධිපතිවරයාගේද එකඟතාවය පලවී නොමැත.

අදාළ ගනුදෙනුව සඳහා කැබිනට් මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ හෝ රූපවාහිනී සංස්ථ අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ නිසි අවසරය ලබා ගෙන නැත. එසේම මෙම ගනුදෙනුව සිදු කිරීමට පෙර රූපවාහිනයේ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ ජනරාල් වරයා ඉවත් කර නව පුද්ගලයන් පත් කර ඇති බවටද චෝදනා පවතී.

මෙහිදී ගනුදෙනුවට අදාළ මුදල් රුවහිනී සංස්ථාවේ ගිණුමට තැන්පත් කල බවටද රාවයක් පවතී. එය සත්‍යයක් නම් සිද්ධිය තවත් බරපතලය.රජයේ මුදල් රෙගුලාසි අනුව මුදල් අමාත්‍යංශය හරහා මෙවැනි මුදල් ගනුදෙනු සිදු විය යුතුය. මේ නිසා රජයේ ගනුදෙනු මීට වඩා විනිවිද භාවයෙන් සිදු කිරීම ජනාධිපතිවරයාගේ මෙන්ම ආණ්ඩුවේද වගකීමකි.

මතබේදාත්මක ලයිකා මොබයිල් සමාගම මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රීලංකාවට සම්ප්‍රාප්ත වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසුරිය හරහාය. සනත් හරහා රාජපක්ෂ පුතුන් හඳුනාගන්නා ඔවුන් ඒ හරහා විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර වලට පිවිසෙන අතර 2014 වසර අවසානය වන විට ඔවුන් සමග විරසක වෙති. ඒ ප්‍රධාන පෙලේ ගනුදෙනුවකට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විරෝධය නිසාය. 2015 නව ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන්ද ඔවුන්ගේ නම කියවේ. ඉන්පසුව මෙරට මාධ්‍ය ආයතන හිමිකර ගැනීමටද එම සමාගම සමත්වූ අතර මේ වන විට ශ්‍රීලංකා ටෙලිකොම් සමාගම මිලදී ගැනීමටද ඉදිරිපත්ව සිටී. මෙරට ප්‍රබලම දේශපාලනඥයකුගේ සොහොයුරකු මේ වන විට අදාළ සමාගම සමග සම්බන්ධව කටයුතු කරමින් සිටින නමුත් අදාළ ප්‍රබල දේශපාලනඥයා මෙම සමගම වෙත කිසිදු බුරුලක් ලබා නොදීමේ දැඩි තීරණයක සිටින බවද සඳහන්ය.

ජනිත සෙනෙවිරත්න