චන්ද්‍රිකා වැවේ සොරොවුවක් වසයි – සමණල වැවත් බින්දුවට හිදෙයි – වන්දි නොලැබුනත් ගොවීන් කුඹුරු ගිණි තබයි

0
චන්ද්‍රිකා වැවේ

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කරන චන්ද්‍රිකා වැවේ  චන්ද්‍රිකා වැව කොට්ඨාශයට තීරණය වූ පරිදි හෙට 15 දක්වා ජලය ලබාදී මට මහවැලි බලධාරීන් සහ ගොවි නායකයන් අතර සාකච්ඡාවකින් පසුව තීරණය වී තිබිණි.

එහෙත් අද පෙරවරු 9ට පමණ ගොවි නායකයන් කිසිවෙකුට නොදන්වා මහවැලි අධිකාරිය මගින් චන්ද්‍රිකා වැවේ ඇල මාර්ගය වසා දමා තිබිණි.

ඒ හේතුවෙන් උරණ වූ වලව චන්ද්‍රිකා වැව කොට්ඨාශයේ ගොවීන් එයට විරෝධය පෑම සදහා චන්ද්‍රිකා වැව සොරොව්ව අසලට එක් රොක් වන්නට විය.

ඒ පිලිබදව මහවැලි අධිකාරියේ බලධාරීන්ගෙන් විමසීමේදී නැවතත් ගොවීන් සදහා සාකව්ඡාවක් ලබාදී තිබිණි.

ඒ අනුව ඒ හමුව සදහා ඇලවල් දෙකෙහිම ගොවීන් පැමිණ සිටි අතර මේ සදහා මහවැලි අධිකාරියේ වලව විශේෂ බල ප්‍රදේශයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාර තාක්ෂණ සේවා ඉන්ජිනේරු තිලක් රණසිංහ මහතා, වැඩබලන නියෝජ්‍ය නේවාසික කළමණාකාර ඉඩම් කේ.ජී.යූ.සී. කුමාර  සහ කොට්ඨාස කළමනාකරුවන්ද සහභාගී වී සිටින ලදි.

මෙහිදී උණුසුම් තත්වයක් හටගත් අතර අවසානයේදී තවත් පැය 20ක් චන්ද්‍රිකා වැව කොට්ඨාශයට ජලය ලබාදී සදහා මහවැලි අධිකාරිය තීරණය කරන ලද අතර ඉන් අනතුරුව වැවේ වැඩි ධාරිතාවයකින් මුරවැසි හේන අගුණු කොලපැලැස් ඇල මාර්ගයේ ජලය ලබාදීම සදහා තීරණය විය.

ගොවීන් කියා සිටින්නේ මෙම තාවකාලික විසදුමක් බවත් ගිං නිල්වලා ව්‍යාපෘතිය අතර මග නතර වීම මේ සියල්ලටම හේතුවී ඇති බවයි.

සමනලවැව ජලාශයේ ජල ධාරිතාව 14 % දක්වා පහලට

චන්ද්‍රිකා වැවේ

පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් සමනලවැව ජලාශයේ ජල ධාරිතාව සියයට 14 දක්වා පහළ බැසිම නිසා එහි විදුලි උත්පාදනය සිමා කර ඇතැයි සමනල වැව ඉංජිනේරුවරු පවසති .

විදුලි බල මණ්ඩලයේ උපදෙස් අනුව සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සිමා කර තිබේ. මේ වන විට මෙගා වෝට් 80 පමණ විදුලි නිෂ්පාදනය සමනල වැව ජලාශය මගින් ජාතික ව්දුලි බල පද්ධතියට මුදා හරිනු ලැබේ.

සමනලවැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරිම නිසා උඩවලව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5751 දක්වා ඉහළ ගොස් ඇතැයි එහි කාර්ය භාර ඉංජිනේරයෙක් පැවසිය.

ගොයමට ගිනිතැබූ පුද්ගලයින් හට වන්දි නෑ

චන්ද්‍රිකා වැවේ

නියඟය හේතුවෙන් හානි වූ ගොයමට ගිනිතැබූ පුද්ගලයින් හට වන්දි ලබානොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබේ.

පසුගිය දින කිහිපය තුළ නියඟයෙන් හානි වූ ගොයමට ඇතැම් පුද්ගලයින් ගිනි තබා විරෝධය දක්වන ආකාරය මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.

ඒ හේතුවෙන් එම වගාවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන්ට වන්දි ලබාදිය නොහැකි බව එම මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කර ඇති බවද කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එසේම යම් පුද්ගලයෙකු සිය කුඹුරට ගිනි තබන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාව පිළිබඳ සොයාබැලීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ