නිකන් දුන්න හාල් සජබ සංවිධායක විකුණලා

0

නිකන් දුන්න හාල්

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ බෙදා දීමට රජය මගින් නිකන් දුන්න හාල් තොගයකින් කොටසක් සමග ජනබලවේගයේ වල්පාළුව කලාප සංවිධායකයා හොර රහසේ අලෙවි කර ඇති බවට වල්පාළුව සමෘද්ධිලාභීහු චෝදනා කරති.

අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීමට රජයෙන් කිලෝ 10 බැගින් වූ උරවල අසුරා තිබූ සහල් තොගයක් මෙසේ වල්පාළුව සජබ කලාප සංවිධායකයාගේ නිවසේ දී බෙදා දී ඇති අතර, එහිදී ඉතිරි සහල් තොගය රහසේ මෙසේ විකුණා ඇති බවත් ඔවුහු පවසති.

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 658 ඒ ග්‍රාම නිලධාරි වසමට අයත් වල්පාළුව ගම්මානයේ මෙම සිද්ධිය වී ඇති බව සමාද්ධිලාභීහු සඳහන් කරති.

කෙසේ වෙතත් එම සිද්ධිය දැනගත් වල්පාළුව සමෘද්ධි නිලධාරිවරයා මේ පිළිබඳව සජබ කලාප සංවිධායකවරයාගෙන් විමසා ඇති අතර ඔහු එය සනාථ කරගෙන ඇති බවත් පසුව සහල් විකුණූ ස්ථානවලට ද ගොස් එය තවදුරටත් තහවුරු කරගෙන ඇති බවත් කියති.

පසුව එම සහල් තොගය අලෙවි කළ ස්ථානවලින් සහල් නොලැබීම හේතුවෙන් වෙනත් සහල් තොගයක් ලබා දීමට අදාළ පර්ෂ ද සංවිධායකවරයා කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව විමසීමේ දී මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් ලක්ෂිකා මිගෙල්ලආරච්චි මහත්මිය පැවසුවේ අදාළ පුද්ගලයා එම සහල් තොගය ලබාදුන් බවත්, එම සිද්ධිය ඉන්පසුව අවසන් වූ බවත්ය.

මේ පිළිබඳව ඉදිරි පරීක්‍ෂණයක් සිදුවනවාදැයි කළ විමසීමේ දී ඇය කීවේ එවැනි පරීක්‍ෂණයක් අවශ්‍ය නොවන බවත්, අලෙවි කර තිබූ සහල් වෙනුවට වෙනත් සහල් තොගයක් ලබාදීමෙන් පසු සිද්ධිය අවසන් කළ බවත්ය.

මෙම චෝදනාව එල්ලවන සජබ වල්පාළුව කලාප සංවිධායක අනුර බණ්ඩාර අබේසිංහ මහතාගෙන් කළ විමසීමේ දී ඔහු කීවේ එවැනි දෙයක් සිදුවී නැති බවයි.