උපයෝගිතා කොමිසමේ සාමාජිකයෝ සභාපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කරති

0
Janaka Rathnayaka - උපයෝගිතා කොමිසමේ සාමාජිකයෝ සභාපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කරති

විදුලි ගාස්තු සියයට 36 කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස තමන් ඉදිරිපත් කළ යෝජනාව එම කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කළ බවත් එම සාමාජිකයන් තිදෙනා විදුලිබල මණ්ඩලය යෝජනා කළ සියයට 66 ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පැවසීය.

විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට කර තිබූ යෝජනාව සමාලෝචන කර එය රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමකට පහත දමා යෝජනාව ඉදිරිපත් කළ බව කී ජනක රත්නායක මහතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න එම නීත්‍යානුකූල ගාස්තු යෝජනාවට විරෝධය පල කළ බව ද සඳහන් කළේය.

එම සාමාජිකයින් හෙට සිට ක්‍රියාත්මක කිරීමට අනුමත කළ ගාස්තු ක්‍රමය නීති විරෝධී, මහජනතාව දැඩි පීඩනයකට පත්කරන මෙන්ම සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් කරන විදුලි ගාස්තු ඉහළ දැමීමක් බවත් අධික විදුලි ගාස්තු යෝජනාව අනුමත කළ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ සහ ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවත් රත්නායක මහතා පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම ඊයේ (14) රැස්වූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් කළ බව ද එහි සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.