මහජන මුදලින් නඩත්තු වන හිටපු ජනපතිවරුන්ට වෙන්කර ඇති මුදල් මෙන්න

0
Former Presidents - මහජන මුදලින් නඩත්තු වන හිටපු ජනපතිවරුන්ට වෙන්කර ඇති මුදල් මෙන්න

2023 වසර සඳහා ද හිටපු රාජ්‍ය නායකයින් නඩත්තුව සඳහා මිලියන ගණනක මුදලක් වෙන් කර තිබෙනවා.

එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ හිටපු ජනපතිවරුන්ගේ මන්දිර සහ වාහන නඩත්තු කිරීම සඳහා යි.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන සිව් දෙනා සඳහා රජය මෙලෙස මුදල් වෙන් කර ඇති අතර ඊට අමතරව දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාසට ද මේ යටතේ අයවැය ප්‍රතිපාදන ලැබී තිබෙනවා.

2022 වසර තුළ දී ශ්‍රී ලංකාව මුහුණ පෑ බරපතළ ආර්ථික ව්‍යසනය හේතුවෙන් භාණ්ඩාගාරයට හැකි සෑම ක්ෂේත්‍රයකින්ම වියදම් අඩු කිරීම සඳහා පියවර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනය හරහා ම හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ මන්දිර සහ ප්‍රභූ රථ පෙළ නඩත්තු සඳහා 2022 වර්ෂයටත් වඩා වැඩි මුදලක් වෙන් කිරීම කෙතරම් හාස්‍යයට කරුණක්ද?

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 වසර සඳහා අතීත රාජ්‍ය නායකයින්ට වෙන් කර ඇති ප්‍රතිපාදන මිලියන ගණනකින් වැඩි වී තිබෙනවා.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 1,17 ක් වෙන් කර ඇති අතර එය 2022 වර්ෂය සඳහා වෙන් කර තිබූ අගය ම වනවා.

කෙසේ වෙතත් “වෙනත්” වියදම් යටතේ හිටපු ජනාධිපතිනියට 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 300 ක් වෙන් කර ඇති අතර එය 2022 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 200 සහ 2021 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 143ට සාපේක්ෂව විශාල වැඩි වීමක්.

ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හට ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ යටතේ තවත් රුපියල් ලක්ෂ 100ක් වෙන් කර ඇති අතර එහි වෙනස් වීමක් සිදු වී නැහැ.

කෙසේ වෙතත් 2022 වසර සඳහා වාහන නඩත්තුවට වෙන් කළ රුපියල් ලක්ෂ 200 ට සාපේක්ෂව 2023 වසරේ දී රුපියල් ලක්ෂ 1,000 ක දැවැන්ත මුදලක් වෙන් කර තිබෙනවා.

2023 වසර සඳහා මහා භාණ්ඩාගාරය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 117ක් වෙන් කර ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ටත් ‘වෙනත්’ වියදම් යටතේ 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 110ක් වෙන් කර ඇති අතර එය 2022 වර්ෂය සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 100 සහ 2021 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 68ට සාපේක්ෂව දැවැන්ත වැඩිවීමක්.

ප්‍රාග්ධන වියදම් යටතේ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ යටතේ රුපියල් මිලියනයක් වෙන් කර ඇති අතර එය ද 2022 වසර සඳහා වෙන් කළ මුදලම වනවා.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට 2022 වසර සඳහා වෙන් කළ රුපියල් මිලියන 2 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 10 ක දැවැන්ත මුදලක් වාහන සඳහා වෙන් කර තිබෙනවා.

මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට පදිංචිව සිටින්නේ ද ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද රජය විසින් රුපියල් මිලියන 800ක අතිවිශාල මුදලක් වැය කොට පිළිසකර කළ කොළඹ 7 විජේරාම පාරේ නිවසේ යි.

මෙම විජේරාම නිවසේ අළුත්වැඩියා කටයුතු කරමින් සිටියදී ඔහු බෞද්ධාලෝක මාවතේ තාවකාලිකව පදිංචියට ගිය රජයේ නිවස මේ වන විට ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට පවරා දී ඇත්තේ 2022 ජූලි මාසයේදී ඔහුගේ වැරදි කළමනාකාරිත්වය හේතුවෙන් බලයෙන් ඉවත් වීමට සිදු වූ පසු බිමක් යටතේයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ මෙරට බරපතළ ආර්ථික අර්බුදයක් කරා තල්ලු වී, මිනිසුන්ට ඖෂධ සහ ආහාර ඇතුළු මූලික දේ සඳහා පැය ගණන් පෝලිම්වල සිටීමට සිදු වූව ද ඔහු දැන් ජීවත් වන්නේ ජනතා මුදලින් නඩත්තු වන රජය විසින් සපයන ලද සුඛෝපභෝගී නිවෙසකයි.

2022 දී, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාව සිටියදී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අතිකාල සහ නිවාඩු ගෙවීම් යටතේ මහා භාණ්ඩාගාරය හරහා රුපියල් මිලියන 70 ක් වෙන් කර ඇති අතර, 2021 වසරේ දී එම මුදල රු. මිලියන 74ක්.

මීට අමතරව ‘දේශීය හා විදේශීය ගමන් වියදම්’ සඳහා ද 2022 වසරේ දී භාණ්ඩාගාරය විසින් රු. මිලියන 12, වෙන් කර ඇති අතර 2021 දී ඒ සඳහා වෙන් කර තිබුනේ රුපියල් මිලියන 37 ක් පමණයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ රජයට එරෙහිව රටපුරා ඇති වූ විරෝධතා හේතුවෙන් 2022 මැයි මාසයේදී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විමට ප්‍රථම 2022 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය නඩත්තු කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 229 ක් වෙන් කර තිබූ අතර ‘නඩත්තු වියදම්’ යටතේ, 2021 වර්ෂය සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 213ක්.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 සඳහා මහා භාණ්ඩාගාරය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් රුපියල් ලක්ෂ 1,17 ක් වෙන් කර තිබෙනවා.

එසේම “වෙනත්” වියදම් යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට 2023 වර්ෂය සඳහා තවත් රුපියල් මිලියන 11 ක් වෙන් කර දී තිබෙනවා.

එය 2022 සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 10 සහ 2021 සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 7.9 ට සාපේක්ෂව විශාල වැඩි වීමක්.

මීට අමතරව ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපතිවරයාට 2022 වර්ෂයේ මෙන්ම ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ යටතේ තවත් රුපියල් මිලියන‍යක් වෙන් කර දී තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ද වාහන නඩත්තුව සඳහා 2022 වර්ෂය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 2 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 10 ක දැවැන්ත මුදලක් වාහන සඳහා වෙන් කර තිබෙනවා.

2023 වසර සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ද විශ්‍රාම ප්‍රතිලාභ ලෙස මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 11.7ක් වෙන් කර ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට “වෙනත්” වියදම් යටතේ, 2023 වසර සඳහා තවත් රුපියල් මිලියන 10 ක් වෙන් කර ඇති අතර ප්‍රාග්ධන වියදම් යටතේ, ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියනයක්.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට 2023 වසරේ වාහන සඳහා රුපියල් ලක්ෂ 20ක් වෙන්කර ඇති අතර හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වාහන සඳහා අඩුම මුදලක් වෙන්කර ඇත්තේ ඔහුටයි.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස ට 2023 වසර සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 780,000ක් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස වෙන් කර ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

එසේම වෙනත් වියදම් යටතේ හේමා ප්‍රේමදාස ට තවත් මුදලක් වෙන් කර ඇති අතර එය 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 15 ක්.

එය 2022 වර්ෂය සඳහා වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 13 සහ 2021 වර්ෂය සඳහා වෙන් කර තිබූ රුපියල් 770,000 ට සාපේක්ෂව ප්‍රමාණාත්මක වැඩි වීමක්.

ප්‍රාග්ධන වියදම් යටතේ ද හේමා ප්‍රේමදාසට ‘ගොඩනැගිලි’ සහ ව්‍යුහය යටතේ තවත් රුපියල් මිලියන‍යක් වෙන් කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ආර්‍යාවක වන හේමා ප්‍රේමදාසට ද ‍රථවාහන නඩත්තුව සඳහා 2022 වසරේ වෙන් කළ රුපියල් ලක්ෂ 8ට සාපේක්ෂව 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 50ක දැවැන්ත මුදලක් වෙන්කර තිබීම විශේෂත්වයක්.