ජනවාරි සිට විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

0
Electricity Bill - ජනවාරි සිට විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජනවාරි සිට විදුලි ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ඊයේ (09 වැනිදා) රාත්‍රියේදී ලැබී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යාංශය සමග ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම ගාස්තු සංශෝධනය පෙබරවාරි මස 15 වැනිදා වන විට සමාලෝචනය කිරීමේ පදනම මත ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

එම සමාලෝචනයට මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ විද්වත් කමිටුව දායක කර ගැනීමට නියමිතය.

එම සමාලෝචනයෙන් පසුව විදුලි ගාස්තු අඩුවීමේ හැකියාවක්ද පවතින බව අමාත්‍ය මණ්ඩලයේදී යෝජනා විය.

තවද, විදුලි ගාස්තු සංශෝධනය නතර කරන ලෙස ඇමැති මණ්ඩලයේ බහුතර ඇමැතිවරුන් පිරිසක් ඉල්ලා සිටියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි. එසේ නොමැති වුවහොත් ඉන්ධන ආනයනය කිරීම සඳහා බැංකුවලින් මුදල් ලබා නොදීම ගැටලුවක් මතුවන බව ඔහු පෙන්වාදී තිබේ.

විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැළපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අදාළ මිල සූත්‍රය සඳහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

තවද, ගාස්තු සංශෝධනයෙන් පසු විදුලි කප්පාදුව නතර කිරීමටද ඇමැති මණ්ඩලය යෝජනා කර ඇත.

කෙසේ වෙතත්, විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලියක් ඊයේ (09 වැනිදා) පස්වරුවේ තමන්ට ලැබුණු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය.

විදුලි ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.