වසර 7කට පසු ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ජයක්

0
Sri Lanka Cricket - වසර 7කට පසු ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ජයක්

දසුන් ශානක හා කුසල් මෙන්ඩිස්ගේ වීශිෂ්ඨ ඉනිම් හා, වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මේ සමගින් තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 1-1 ක් ලෙස සම කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

පූනේ හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 206 ක් රැස් කළහ.

කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවර 8.2 කදී ලකුනු 80 ක සබඳතාවක් පැවැත්වුවද ඉතිරි පන්දු 48  තුළදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 6 ක්ම බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුනු 58 ක් පමණක් ලබා දෙමිනි.

නමුත් ඉන් පසු නායකත්වයේ වගකීම කරට ගත් දසුන් ශානක ඉන්දිය පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් ඒල්ල කරමින් අවසන් පන්දුවාර 4 දී ලකුණු 68 ක් රැස්කරගැනීම කැපී පෙණින.

මෙහිදී නායක දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විස්සයි විස්ස තරගයකදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවද තමන් සතු කර ගනිමින් පන්දු 22 කදී නොදැවී ලකුනු 56 ක් රැස් කලේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 2 ක් හා හයේ පහර 6 ක් අන්තර්ගත විය. ඊට අමතරව ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 31 කදී ලකුනු 52 ක් රැස් කලේය.

පන්දු යැවීමේද ඉන්දියාව වෙනුවෙන් උම්රාන් මලික් කඩුළු 3 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නොසිතූ පීඩනයක් ලබා දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ් අනුව මුල් පන්දුවාර 9 ක් නිමා වද්දී ඉන්දීය කඩුළු 5 ක්ම ලකුණු 57 කට දැවී ගියේ ජයග්‍රහණය ඉන්දියාවට ඈත් කරමිනි.

නමුත් සූර්යකුමාර් යාදව් සමගින් එක්වූ ආක්ෂාර් පටෙල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසිසේ පහර ඒල්ල කරමින් ලකුණු රැස් කළ අතර ඔවුන් දෙදෙනා හයවැනි කඩුල්ලට පන්දු 40 කදී ලකුනු 91 ක සබඳතාවක් පැවැත්වූහ.

සූර්යකුමාර් යාදව් සිය විස්සයි විස්ස දිවියේ 13 වැනි අර්ධ ශතකය රැස් කරමින් පන්දු 36 කදී ලකුණූ 51 ක් රැස් කලේය.

ඉන්දියාවට නොතිබූ ජයක් පේනතෙක්මානයට ගෙන ආ ආක්ෂාර් පටෙල් පන්දු 31 කදී ලකුණු 65 ක් රැස් කලේ සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කරමිනි.

ආක්ෂාර් හා උම්රාන් මලික්ද පන්දු 22 කදී ලකුණු 41 ක සබඳතාවක් හත්වැනි කඩුල්ලට වාර්තා කළද අවසන් පන්දුවාරය යැවූ දසුන් ශානක ඔවුන් දෙදෙනාම දවා ගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කලේය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් පෑ ශ්‍රී ලංකා නායක දසුන් ශානකටයි

ශ්‍රී ලංකාව ඉන්දියාවේදී විස්සයි විස්ස තරග ජයග්‍රහණයක් හිමිකර ගත්තේ වසර 7 කට පසුව වීම විශේෂත්වයකි. මීට පෙර ඔවුන් තරග ජයක් හිමිකර ගත්තේ 2016 වර්ෂයේදීය.