ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ඊයේ (06) පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මේ තරගයේ අතිශය තීරණාත්මක සාධකයක් වූ කාසිය වාසිය හිමිකරගන්නට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.
ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේ දෙවරක් නොසිතාමයි.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 11 ක්ව තිබියදී බිඳ වැටුණා.
එහිදී මහීෂ් තීක්ෂණගේ පන්දු හමුවේ ලකුණු 6 කට දැවී ගියේ කේ. එල් රාහුල්.
ඉන් අනතුරුව පිටියට පිවිසුණේ ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තුව මෙන්ම අංක එකේ පිතිකරුවා වන විරාත් කෝලි.
නමුත් ඔහුට පිටියේ රැඳී සිටින්නට අවස්ථාව ලැබුනේ පන්දු හතරක් නිමාවන තුරු පමණයි.
නියම එල්ලය හමුවේ සිය වේග පන්දුව මෙහෙයවූ නවක ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක විරාත් කෝලිගේ කඩුල්ල බිඳ දැමුවේ ඔහුට කිසිදු ලකුණක් ලබා ගන්නට අවස්ථාවක් ලබා නොදෙමින්.
ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 13 ක් වශයෙන්.
නමුත් ඉන්පසුව පිටියේ සිටි නායක රෝහිත් ෂර්මා සමග එක්වූ සූරියකුමාර් යාදව් බිඳ වැටුණු ඉන්දීය ඉනිම ගොඩ නැගීමට සටන් වැදුනා.
මේ දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩ නැඟුවේ පන්දු 58 කට පමණක් මුහුණ දෙමින්.
ඉන්දීය ඉනිම ගොඩ ගත් එම සම්බන්ධතාව බිඳ වැටුනේ නායක රෝහිත් ෂර්මා ලකුණු 72 කට දැවී යාමත් සමගයි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් සිය ලකුණු 72 සඳහා පන්දු 41කට මුහුණ දුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4 ක් අන්තර්ගත වුණා.
රෝහිත් ශර්මා සමග අනෙක් අන්තයේ ඉන්දීය ඉනිම ගොඩ ගැනීමට සටන් කළ සූරියකුමාර් යාදව් දසුන් ශානක ගේ පන්දු යැවීම හමුවේ මහේෂ් තීක්ෂණ රැකගත් උඩපන්දුවක් හේතුවෙන් ලකුණු 34 කට දැවී ගියේ ඉන්දීය කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙසයි.
ඔහු එම ලකුණු 34 ලබා ගැනීම සඳහා පන්දු 29 ට මුහුණ දුන් අතර එක් හතරේ පහරක් සහ එක් 6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුලත් කර ගෙන තිබුණා.
ඉන්දීය කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 17 ක් ලබා සිටි හාර්දික් පාන්ඩ්යා දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වුණා.
හර්දික් දැවී ගියේ ඉන්දීය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 149 ක්ව තිබියදී.
රෝහිත් ෂර්මා දවා ගැනීමෙන් අනතුරුව නැවතත් හොඳින් තරගයට අවතීරණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල කර ගැනීමට සමත් වුණා.
තරගයේ 19 වැනි පන්දු වාරයේ පළවෙනි පන්දුවේදී ලකුණු තුනක් ලබා සිටි දීපක් හූඩා දවා ගන්නට ඩිල්ශාන් මධුසංඛ සමත්වුණා.
එවිට ඉන්දීය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව දකුණේ ලකුණු 157 ක් වශයෙන්.
එම පන්දු වාරයේදීම ලකුණු 17ක් ලබාගෙන සිටි රිෂ්බා පාන්ට් දවා ගන්නට මධුශංක සමත්වූයේ ඔහුගේ තුන්වැනි කඩුල්ල වශයෙන්.
මේ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8 කට ලකුනු 173 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ශාන් මධුසංඛ ලකුණු 24 කට කඩුලු 3ක් දවාගත් අතර දසුන් ශානක ලකුණු 26කට කඩුලු 2ක් සහ චාමික කරුණාරත්න ලකුණු විසි 27 කට කඩුලූ දෙකක් බිඳ හෙලුවා.
ජයග්‍රාහී ලකුණු 174 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගල පළමු කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.
ශ්‍රී ලංකා ඉණිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 52ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී ගියා.
ඉන්පසු පිටියට පිවිසි චරිත් අසලංකට වැඩි වෙලාවක් පිටියේ රැඳී සිටීමට හැකිවුයේ නැහැ ඔහු ලකුණු නොලබාම දැවී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 110 ව තිබිය දී 3 වන කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක දැවී ගියා.
ඉන්පසු ලකුණු 57 ක් ලබා සිටී කුසල් මෙන්ඩිස් ද දැවී ගියේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 110 ව තිබිය දී.
ඉන්පසු පිටියේ එක්වුණු භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගයේ අවසන් පන්දු වාරයේ 5වන පන්දුවේදී.























































