විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

0
Electricity Bill - විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

විදුලි ගාස්තුව සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් යොදාගත් උපකල්පන 20 න් තෝරාගත් හොඳම උපකල්පනයට අනුව එම මිල ඉහළ දැමීම කරන බවත් විදුලි ගාස්තු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (27) පැවසීය.

මෙම වසරේ අගෝස්තු මස කළ ගාස්තු ඉහළ දැමීමේදී ඉල්ලා සිටි ප්‍රමාණ නොලැබීම නැවත ගාස්තු ඉහළ දැමීමට හේතු වූ බව කී සාමාන්‍යාධිකාරීවරයා එම ගාස්තු ඉහළ දැමීමේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට මහා භාණ්ඩාගාරය හරහා සහනයක් ලැබෙන බව ද සදඟන් කළේය.

එමෙන්ම මෙරටට අවශ්‍ය ගල් අඟුරු ආනයනය ද අදාළ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමක හා එහි දේශීය නියෝජිතයාට ලබාදීමට නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඇතැම් පාර්ශවයන් පවසන පරිදි කිසිසේත්ම පැය ගණනාවක විදුලි කප්පාදුවක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු අවශ්‍ය වන පරිදි රටට ලැබෙමින් ඇති බවද ඒ අනුව නොරච්චෝල බලාගාරය අක්‍රිය කිරීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියේය.

නැප්තා ඇතුළු ඉන්ධන බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ද අවශ්‍ය පරිදි ලබා දීමට කටයුතු කර ඇතැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් විදුලි බලය ලබාදීම මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන්ම විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කළ යුතු ඇති බවද කී ඔහු මිල වැඩි කිරීම සිදු නොකළහොත් මේ ආකාරයෙන් විදුලි බලය ලබා දිය නොහැකි වනු ඇති බවද කියා සිටියේය.

විදුලි බිල ඉහළ නොදැම්මහොත් පැය කිහිපයක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත් ඒ මහතා එහිදී සදහන් කලේය.