තිළිණි ප්‍රියමාලිගේ හඬපටවලින් එන නළු නිළියන්ගේ නම්

0
Fraud of Thilini Priyamali - තිළිණි ප්‍රියමාලිගේ හඬපටවලින් එන නළු නිළියන්ගේ නම්

ප්‍රවීණ රංගන ශිල්පී, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග, ඔහුගේ බිරිඳ වන ෂෙරින් කුමාරතුංග සහ ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්නගෙන් තිළිණි ප්‍රියමාලි සමග පැවැත්වූ සබඳතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබේ.

මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ද තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ගනුදෙනු පිළිබඳ ‘අද දෙරණ’ සමග හෙළිදරව්වක් සිදු කළේය.

තිළිණි විසින් සිදුකළ මූල්‍ය වංචා කිහිපයක තොරතුරු සහ හඬපට කිහිපයක් ද මේ වනවිට අප වෙත ලැබී තිබේ.

මහ පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි තමන්ගෙන් ද රුපියල් මිලියන 80 ක මුදලක් වංචා කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය ද රටේ කතාබහට ලක්වුණි.

මේ අතර තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබලදීම මත රිමාන්ඩ් භාරයේ සිටින පූජ්‍ය බොරැල්ලේ සුමන හිමි තමන්වහන්සේ වැඩවිසූ කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයේ රත්‍රං කුට්ටියක් ඇති බව පවසා ව්‍යාපාරිකයන් රවටා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

උන්වහන්සේ ව්‍යාපාරිකයන්ට එසේ පෙන්වූ රත්‍රං කුට්ටියේ ඡායාරූපයක් ද මේ වනවිට අප වෙත ලැබී තිබුණි.

එමෙන්ම තිළිණි අසාද් සාලි මහතාගෙන් ලබාගත් රුපියල් මිලියන 80 න් කොටසක් පියවීම සඳහා ඔහුට අධි සුඛෝපභෝගී මෝටර් රථයක් පෙන්වා එය ලබාගන්නා ලෙස පවසා තිබේ.

මෝටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 40කට ආසන්නය.

ඊට අදාළව ඇය සාලි මහතා වෙත හඬපටයක් ද එවා තිබුණි.

එසේ පැවසුව ද තිළිණි ප්‍රියමාලි එම රථය අසාද් සාලි මහතාට ලබාදී නොමැත.

පසුව වාර්තා වූයේ තිළිණිගේ අනියම් සැමියා බව පවසන ඉසුරු බණ්ඩාර එම රථය වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇති බවය.

අවසානයේදී තිළිණි ප්‍රියමාලිට මුදල් පියවීමට නොහැකි වූ තැන, ඇය අසාද් සාලි මහතා වෙත තවත් හඬපටයක් යොමුකර තිබුණි.

එහි සඳහන්ව ඇත්තේ ඉඩමක් විකුණා අදාළ මුදල් පියවන බවටය.

නමුත් ඇය පැවසූ පරිදි ඉඩමක් නොවූ බව අසාද් සාලි මහතා පැවසීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව ඊයේ වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයට ගොස් තිළිණි ප්‍රියමාලිගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.

එමෙන්ම ජානකී සිරිවර්ධනව පසුගිය සෙනසුරාදාම මීගමුව බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවීණ රංගන ශිල්පී, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග, ඔහුගේ බිරිඳ වන ෂෙරින් කුමාරතුංග හා ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්නගෙන් තිළිණි සමග පැවැත් වූ සබඳතා පිළිබඳ ප්‍රකාශ ලබාගෙන තිබේ.

ජීවන් කුමාරතුංග මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක නිෂ්පාදක ලෙස කටයතු කර ඇත්තේ ද තිළිණි ප්‍රියමාලිය.

චිත්‍රපටය සඳහා රුපියල් ලක්ෂ 140 ත් 145 ත් අතර මුදලක් වැයවී ඇතැයි වාර්තා වෙයි.

ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස කුමාරතුංග මහතාගේ ප්‍රකාශ ලබාගෙන තිබේ.

එමෙන්ම ඔහුගේ බිරිඳ වන ෂෙරින් කුමාරතුංග මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිළිණි ප්‍රියමාලි සමග පැවැත් වූ සමීප සබඳතා පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

කුමාරතුංග මහත්මිය හා තිළිණි ප්‍රියමාලි ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂා කළ ප්‍රසංග කිහිපයක් පිළිබඳව ද විමර්ශන නිලධාරීන් එහිදී ප්‍රශ්න කර ඇත.

එමෙන්ම පොලීසිය පැවසුවේ, කුමාරතුංග යුවළ තිළිණි ප්‍රියමාලි සමග සමීප සබඳතා පවත්වා ඇති බවය.

මේ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 05කට අධික කාලයක් තිළිණි සම්බන්ධයෙන් ඊයේ ප්‍රශ්න කර තිබේ.