නොවැම්බර් 14 වැනිදාට පෙර කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනපති තීරණය කරයි

0
President Ranil Wickramasinghe - නොවැම්බර් 14 වැනිදාට පෙර කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනපති තීරණය කරයි

නොවැම්බර් 14 වනදාට පෙර නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ අවසන් වරට පැවති කැබිනට් මණ්ඩලයම සුළු වෙනස්කම් සහිතව නැවතත් පත්කෙරුණේ තාවකාලික පදනමක් යටතේ ය. ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සඳහා අවස්ථා කිහිපයකදීම දින නියම වුණු නමුත් එය ඉටුකර ගැනීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ය.

විශේෂයෙන්ම පොහොට්ටුවේ පාර්ශ්වයෙන් ලබාදී තිබුණු නම් ලැයිස්තුවෙහි කැබිනට් අමාත්‍ය තනතුරු සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ව ද යෝජනා කර තිබුණු නමුත් ජනාධිපතිවරයා ඔවුන්ට අමාත්‍ය තනතුරු ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි.

මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම නැවත නැවතත් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කෙරුණු නමුත් ජනාධිපතිවරයා සිය තීරණය වෙනස් කර තිබුණේ නැත.

ඒ අනුව අවසානයෙහි පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ජනාධිපතිවරයාගේ තීරණයට එකඟ වී ඇති බව සඳහන්.

දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සති අන්තයේදී ඊජීප්තුව බලා පිටව යාමට නියමිත අතර එම සංචාරය නිමවා පැමිණි පසුව ඉක්මනින්ම නව කැබිනට් මණ්ඩලය පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.