උතුරේ සහ දකුණේ ලෙංගතුකම් තව තවත් අලුත් කළ එල්පීඑල් පිටියේ අපූරු සිදුවීම

0
Wonderful Moment on the LPL Field - උතුරේ සහ දකුණේ ලෙංගතුකම් තව තවත් අලුත් කළ එල්පීඑල් පිටියේ අපූරු සිදුවීම

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ තියුණු තරග දෙකක් ඊයේ (16) පැවැත් වුණේ තරගාවලිය තවත් උණුසුම් කරමින්.

මෙම තරගවලින් ජය ලබන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සහ කැන්ඩි වෝරියස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

එහිදී කලම්බෝ ස්ටාර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගයේ දී මෙවර තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත්ට අවස්ථාව හිමි වුණා.

උතුරුකරයෙන් බිහිවූ මෙම නව යොවුන් දඟ පන්දු යවන්නා එම තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 32කට කලම්බෝ කණ්ඩායමේ කඩුලු 03ක් බිඳ දමමින්.

එහිදී විජයකාන්ත්, කීමෝ පෝල්ගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව සිදුවූ අපුරු සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතා බහට ලක්වෙනවා.

කීමෝ පෝල් දැවීයාමට පෙර විජයකාන්ත් යොමුකරන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරන අතර අනතුරුව විජයකාන්ත් අසලට පැමිණෙන වනිඳු හසරංග ඔහුව දිරිමත් කරමින් යම් උපදෙසක් ලබා දෙනවා.

ඉන් අනතුරුව විජයකාන්ත් යවන පන්දුවට ස්ලිප් හි පන්දු රකිමින් සිටි තිසර පෙරේරා වෙත උඩ පන්දුවක් ලබා දී කීමෝ පෝල් දැවීයන අතර විජයකාන්ත් අසලට පැමිණෙන වනිඳු ඔහු සමඟින් කඩුල්ල ලබාගැනීමේ සතුට ඉතා උණුසුම් ආකාරයෙන් සමරන්නේ විජයකාන්ත් වැළඳගනිමින්.

මෙම සුන්දර අවස්ථාව මේ වනවිටත් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකු කතා කරන සිදුවීමක් බවට පත්ව අවසන්.

මේ අවස්ථාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු පවසන්නේ උතුරුකරය සහ දකුණු ලක තව තවත් සමීප කළ සුන්දර සිදුවීමක් බවටයි.