බඹර ප්‍රහාරයකින් සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ.. පාසල තාවකාලික වසා දමයි…

0
A Group of Students Hospitalized due to a Wasp Attack - බඹර ප්‍රහාරයකින් සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ.. පාසල තාවකාලික වසා දමයි...

හැටන් ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරය හේතුවෙන් නො(ර්)වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ සිසුන් 17 දෙනෙකු දික්ඔය මුලික රෝහල ට ඇතුළත් කර ඇත.

පාසල අසල පිහිටි විශාල ගසක බැඳ තිබෙන බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සෙකු පහරදීම හේතුවෙන් බඹරුන් ඇවිස්සි අද (15) උදෑසන පාසලට පැමිණෙමින් සිටි ළමුන්ට එලෙස බඹර ප්‍රහාරය එල්ල වී ඇතැයි නො(ර්)වුඩ් පොලීසිය පැවසීය.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 6 සිට 11 දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසකි.

බඹර ප්‍රහාරය එල්ල වීමත් සමග තුවාල ලැබු සිසුන් රෝහල වෙත යොමු කර, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි පාසලේ අනෙකුත් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා පාසලට පැමිණි සෙසු ළමුන් නිවෙස් කරා යොමු කර පාසල තාවකාලිකව වසා දැමීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබේ.

රෝහල්ගත කළ ළමුන්ගෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සෙසු පාසල් සිසුන් දික්ඔය මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.