ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් ඔබ කළ යුතු දේ ගැන දැනුවත්ද?

0
Safety Procedure when Gas Cylinder Fire - ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් ඔබ කළ යුතු දේ ගැන දැනුවත්ද?

ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය.

ඊයේ (25) දින පන්නිපිටියේ නිවසක පිපිරුමක් වාර්තාවීමට පෙරාතුව නොවැම්බර් 20 වැනි දින කොළඹ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක ගෑස් පිපිරීමක්ද නොවැම්බර් 16 වැනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක පිපිරීමක්ද නොවැම්බර් 04 වැනිදා වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක්ද වාර්තා වෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂවරයා නොවැම්බර් 24 වනදා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ එල්පී ගෑස් සිලින්ඩර පුපුරනබවට සමාජ මාධ්‍යයන්හි පැතිරෙන කතාව අසත්‍යයක්බව යි.කෙසේ නමුත්, ගෑස් පිපිරීම්වලට හේතුව නම් කිසිදු දැනුම්දීමකින් තොරව ගෘහස්ත සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනස් කිරීමබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා පසුගියදා පැවසීය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ එල්පී ගෑස් සිලින්ඩරයක ප්‍රධානකොටම අඩංගු වන්නේ ප්‍රොපේන් සහ බියුටේන් යන වායූන් වර්ග දෙක යි. මේ සඳහා නිශ්චිත සංයුතියක් තිබේ.

නමුත් ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක ගෑස් සංයුතිය වෙනස්කර ඇතිබවත්, මේ පිපිරීම්වලට හේතුවී ඇත්තේ එයබවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පසුගිය දා ප්‍රකාශකර තිබුණි.

“සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව පිළිගත් දෙයක් තමයි, ප්‍රොපේන් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් (කාර්මික) ගෑස් එකක්, බියුටේන් කියන්නේ ඩොමේස්ටික් (ගෘහස්ත) ගෑස් එකක්. දැන්, අපේ රටේ 80%ක් බියුටේන්, 20%ක් ප්‍රොපේන් තිබුණේ. දැන් මේ ගොඩාක් හීතල රටවල ප්‍රොපේන් වැඩි මිශ්‍රණයක් තියෙන්න පුළුවන්… සාමාන්‍යයෙන් රස්නේ රටක බියුටේන් වැඩි මිශ්‍රණයක් තමයි පාවිච්චි කරන්නේ. දැන් ලංකාවේ, කිසිම හේතුවක් දක්වන්නේ නැතුව, මේගොල්ලෝ මේක 50%-50% කළා,” හිටපු විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

මෙමඟින් “ගෑස් එක බාලවනබව” පවසන ඔහු, ප්‍රොපේන් සංයුතිය ඉහළ දැමීම නිසා ගෑස් කාන්දුවක් සිදුවිය හැකියැ යි ද ප්‍රකාශ කළේ ය. ඔහු ප්‍රකාශ කරන්නේ මෙම වෙනස සිදුකර ඇත්තේ පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරවබව යි.

මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසූ නමුත්, “ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් මාධ්‍යයට පැවසිය හැකියැ”යි කියූ එහි සභාපති වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක, ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේ ය.

ගෑස්වල සංයුතිය සම්බන්ධ ගැටලුව මුල දී කරළියට පැමිණියේ 2021 වර්ෂයේ ජුලි මාසයේ දී ය. එකල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වූ තුෂාන් ගුණවර්ධන මාධ්‍යයට පැවසූයේ, තම ආයතනය වෙළඳපොළේ ඇති ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලින් ගත් සාම්පල පරීක්ෂා කළ විට, ඒවායේ බියුටේන් සහ ප්‍රොපේන් අඩංගු වූයේ 50:50 අනුපාතයෙන්බව යි. ඔහු මේ පිළිබඳව වෙළඳ අමාත්‍යාංශය ද දැනුවත්කොට තිබුණි.

මේ අතරේ ලිට්‍රෝ ගෑස් සමාගම නොවැම්බර් 24 වනදා මාධ්‍ය හමුවක් කැඳවා, එල්පී ගෑස් සිලින්ඩර පුපුරනබවට සමාජ මාධ්‍යයන්හි පැතිර යන කටකතාව අසත්‍යයක්බව ප්‍රකාශ කළේ ය.

“අපි මේ එල්පී ගෑස් ගබඩා කරලා තියෙන්නේ, ඒ පීඩනයට වඩා හය ගුණයක් වගේ පීඩනයක් දරා ගැනීමේ හැකියාවක් මේ සිලින්ඩරේට තියෙනවා. පීඩන වෙනසක් සිදුවුණොත් එහෙම, මේ සිලින්ඩරයේ ‘සේෆ්ටි රිලීෆ්’ වෑල් එකක් තියෙනවා (ආරක්‍ෂිත විවරයක්). ඒ සේෆ්ටි රිලීෆ් වෑල් එකෙන් වැඩිවෙන හෝ ඒ වෙනස් වෙච්ච පීඩනය ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා,” එම සමාගමේ සුරක්ෂිතතා අධ්‍යක්ෂ, ඉංජිනේරු ජයන්ත බස්නායක පැවසුවේ ය.

සිලින්ඩරය කිසිදු අවස්ථාවක පීඩන වෙනසක් නිසා පුපුරා නොයනබව ද ඔහු සහතික කරයි.

ඔබේ නිවෙසේ ඇති ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදුවුවහොත් හෝ සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් ඔබ කුමක් කළ යුතුදැ යි දැනුවත්ව සිටීම, යම් දිනෙක ඔබේත්, ඔබේ පවුලේත් ජීවිත ආරක්ෂා කරනු ඇත.

ගිනි නිවීම් සහ ජීවිත ගලවාගැනීම් පුහුණු පාසැලේ ප්‍රධාන නිලධාරී එච්. එච්. මධුසිරි, ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් කාන්දුවක් සිදුවිය හැකි අයුරුත්, එවිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්නත් පහදා දුන්නේ ය.

මුළුතැන්ගෙයි පහසුවෙන් ඉවත්කළ හැකි තැනක සිලින්ඩරය තැබීමේ වටිනාකම ඔහු අවධාරණය කරයි. “හදිසියක් වුණෝතින් ඉක්මනින්ම මේ ගෑස් සිලින්ඩරේ ඉවත් කරගන්න පුළුවන් තැනක තියාගන්න එක තමයි ඉතාමත්ම වැදගත් දේ,” ඔහු කියා සිටියේ ය.

එසේම, ගෑස් සිලින්ඩරයේ සිට ලිප වෙත ගමන් කරන බටය ‘ඔරිජිනල්’ විය යුතුබවත්, ආදේශක බටයක් භාවිතය අනුචිතබවත් ඔහු පවසයි.

ගෑස්වලින් ඇතිවිය හැකි ගිනි වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි. මින් එක් අවස්ථාවක දී සිලින්ඩරය ගෑස් කාන්දුවත් සමග ගිනි ගැනීමට ලක්විය හැකි අතර, දෙවැන්න වන්නේ ගෑස් කාන්දුවක් සිදුවුව ද ගින්නක් ඇති නොවන අවස්ථා ය. මෙයින් දෙවැනි වර්ගය වඩාත් භයානක ය.

ගෑස් භාවිතා කිරීමට පෙර මුළුතැන්ගෙයි දොර ජනෙල් විනාඩියක් දෙකක් පමණ විවෘතකර තැබිය යුතු ය. අනතුරුව ඔබට ගෑස් ගන්ධයක් නොදැනෙන්නේ නම් ගැටලුවක් නොවේ ලිප් දැල්වීමට පෙර සියලු වෑංජන ආදිය ඒදා, පිසීමට සූදානමින් තබාගැනීම වඩාත් සුදුසු ය.ගෑස් භාවිතා කරනා විට වෙනත් කිසිදු කටයුත්තක (දුරකතන ඇමතුම් ලබා ගැනීම, දුරකතනයක් භාවිතාව වැනි) නොයෙදීම වැදගත් ය. ජංගම දුරකතනය මුළුතැන්ගෙයට රැගෙන ඒමෙන් වැළකීම වඩාත් උචිත වේ (ඒ දුරකථනයේ ඉලෙක්ට්‍රොනික උපාංග ඇති බැවින් ගින්නක් ඇතිකිරීමේ ආධාරකයක් විය හැකි බැවිනි.) ගෑස් ලිප දැල්වීමේ දී නොබ් එක ඔබා, ශබ්දයක් නැගෙන සේ කරකැවිය යුතු ය. මෙසේ ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා පුළිඟුවක් නිකුත්වීම හේතුවෙන් වන අතර, මේ පුළිඟුව නිකුත් නොවුණ ද ගෑස් නිකුත් වීම ඇරඹිය හැකි ය. එසේ නිකුත්වන ගෑස් ලිප වටා එකතු වේ. මෙහිදී ඔබ කීප වරක් උත්සාහ කර ලිප දල්වාගන්නා විට, පෙර කී අන්දමින් ලිපි වටා එකතු වී ඇති ගෑස්වලට ගිනි ඇවිලීමේ අවදානමක් තිබේ. එනිසා ගෑස් ලිපක් එක වරකින්, ශබ්දය ද නැගෙන සේ දල්වාගත යුතු ය

ගෑස් ලිප භාවිතාවේ දී හිසකෙස් ලිහිල්ව තබාගැනීම නොකළ යුත්තකි. හැඳ සිටින කමිසයේ/හැට්ටයේ අත් වැළමිටෙන් පහළට දිගු නොවිය යුතු ය. විශේෂයෙන්ම මුස්ලිම් සහ හින්දු කාන්තාවන් පළඳන දිගු සාලු (ශෝල්) ගෑස් ලිප භාවිතාවේ දී ඉවත්කොට තැබිය යුතු ය
ගෑස් බටය සෘජු නැමුම් හරහා ගමන් කරන්නේ නම්, එවැනි ස්ථානවල දී බටය නොනැවී, නොකැඩී තිබීම සඳහා රෙදි කැබැල්ලක් හෝ රබර් ෂීට් එකක් වැනි යමක් ඇතිරිය යුතු ය

ඔබ පෙර කී සියලු උපදෙස් පිළිපැදි අවස්ථාවක ද ගෑස් සිලින්ඩරයට ගිනි ඇවිලුණහොත් කුමක් කළ යුතුදැ යි ගිනි නිවීමේ නිලධාරී මධුසිරි පැහැදිලි කළේ ය.

“මේ සේරමත් කරලා, බලාපොරොත්තු නොවූ විදියට ගෑස් ලීක් එකක් වෙලා සිලින්ඩරේ ගිනි ගත්තොතින්, ගෑස් සිලින්ඩරේ පෙරලගන්න එපා! පෙරලුනොතින් ද්‍රව ගෑස් එළියට ඇවිල්ලා ලොකු පිපිරීමක් එක්ක ලොකු ගින්නක් එනවා, එක්ස්කියුස් නෑ කාටවත්. ගින්නත් සමග ලොකු එක්ස්ප්ලෝෂන් එකක් එන එක නවත්තන්න බැහැ. පුළුවන් තරම් ගෑස් සිලින්ඩරේ කුස්සියෙන් ඉවත්කර ගන්න බලන්න, කවුරුවත් නැති තැනකට. කිසි ප්‍රශ්නයක් නැහැ, පිපිරීම් කිසිදෙයක් වෙන්නේ නැහැ. ගෑස් සිලින්ඩරේ කෙලින් සිටුවා තබා ඇති විදියටම අයින්කර ගන්න.”

“ගෑස් සිලින්ඩරෙත් එක්කම කුස්සිය ගිනි අරන් නම් නිවන්න හදන්න එපා, පුපුරලා යන්න ඉඩ තියෙනවා. ෆයර් බ්‍රිගේඩ් එකට, පොලිසියට කතා කරලා, ලොකු වතුර පාරක් එල්ල කරලා තමයි නිවන්න පුළුවන්. ඒක අනතුරුදායක යි,” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ගෑස් සිලින්ඩරය කුස්සිය තුළ දීම නිවා දැමීමට උත්සාහ නොකරන්නැ යි ගිනි නිවීමේ නිලධාරී මධුසිරි උපදෙස් දෙයි.

“හොඳම දේ තමයි [සිලින්ඩරේ] එළියට ගන්න, එළියට අරගෙන හොඳට තෙත, වතුර වැක්කෙරෙන ගෝනියක් අරන් සිලින්ඩරය වැහෙන විදිහට දාන්න ඒක උඩට. එක වතාවකින් බැරි නම් දෙවතාවක් දාන්න, තුන් වතාවක් දාන්න. බොහෝ දුරට නිවෙනවා. නිවාගන්න බැරි නම්, ෆයර් එක්ස්ටින්ගිෂර් (ගිනි නිවන උපකරණය) එකක් තියෙනවා නම් ඔය ඩ්‍රයි පවුඩර් එකක් ගහපු ගමන් නිවෙනවා, කාබන් ඩයොක්සයිඩ් ගහපු ගමන් නිවෙනවා.”

මෙහිදී කළ යුතු හොඳම දෙය වන්නේ සිලින්ඩරය කෙලින් අතට සිටින සේ ඇදගෙන මුළුතැන්ගෙයින් ඉවත්කර, කිසිවෙකුත් නැති ස්ථානයකට ගෙනයෑම යි.

“හැබැයි ගින්න නිව්වට පස්සේ, ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර්ස් අනම් මනම් ඔක්කොම පිච්චිලා ගිහින් තියෙන්නේ. ඉතින් එළියේ ගිහින් තිබ්බොත් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ, මොකද ගෑස් ලීක් එක නවත්තන්න බෑ. ගෑස් ලීක් වෙන්න ගන්නවා හතර වටේම. කාත් කවුරුවත් නැති ඒරියා එකකින් තියන්න කියන්නේ, ගෑස් එක නිවාගත්තොත් ඒක ඕෆ් කරන්න තැනක් නෑ. ගෑස් ලීක් වෙලා ලීක් වෙලා, ඔය කිට්ටුව මිනිස්සු ගිහින් සිගරට් එකක් බිව්වොතින්, කෝල් එකක් ගත්තොතින්, වාහන පාරේ ගියොතින් එහෙම අනිවාර්යයෙන් ගිනි ගන්න පුළුවන්.”

ගෑස් ආඝ්‍රාණය වීම ද මාරාන්තික විය හැකි ය.

ගින්නක් නැතුව ගෑස් ලීක් වුණොත්?
ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුව භයානක තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඉතා බරපතලබව ඔබ දත යුතු ය.

“ගින්නක් ඇතිවෙන්න අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි කියනවා ‘ෆයර් ට්‍රයෑන්ගල්’ (ගිනි ත්‍රිකෝණය) කියලා ඕකට. ඔක්සිජන් ඕනේ, ඉන්ධනයක් ඕනේ, පුළිඟුවක් ඕනේ… එතකොට මේ ගෑස් ලීක් වෙලා තිබ්බොතින් එහෙම, ගෙයි ඔක්සිජන් තියෙනවා, ගෙයි ගෑස් පිරිලා තියෙනවා, ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අපෙන් අඩුවෙන්නේ ස්පාක් එකක් විතරයි. මේක අපි කරගන්නවාම යි අපි දැනුවත් නැත්නම්,” ගිනි නිවීමේ නිලධාරී මධුසිරි කියයි.

ඔහු පවසන පරිදි, ගෑස් ගන්ධයක් දැනුණු විට පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි:

ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය. ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ. ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් “ඕන්” කිරීමෙන් හෝ “ඕෆ්” කිරීමෙන් වැළකිය යුතු ය. නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතු ය. කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය. ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු ය. දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතු ය. ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්නා, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීම යි.