ප්‍රදේශ රැසක කොවිඩ් යළි හිස ඔසවයි

0
ප්‍රදේශ රැසක කොවිඩ් යළි හිස ඔසවයි
ප්‍රදේශ පහකින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වෙයි මැදවච්චිය, සියඹලාණ්ඩුව, මොනරාගල, කළුතර, දෙනියාය යන ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මැදවච්චිය සමෘද්ධි අංශයේ සේවකයන් 28ට කොවිඩ් ආසාදිත වී තිබේ.

පසුගිය සතිය තුළ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී මොවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එසේම පසුගිය සතියේ දෙනියාය අධ්‍යාපන කලාපයේ වරල්ල මොලොග්ගමුව පිටබැද්දර යන ප්‍රදේශවල පාසල් කිහිපයක සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණවලදී සිසුන් ගුරුවරුන් සහ අනධ්‍යනයන සේවකයන් හැටදෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ මෙම ආසාදිතයන් වාර්තා වී ඇත. මොනරාගල සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් 84 ක් වාර්තා වී ඇත.
පසුගිය 22 වැනිදා මෙම ආසාදිතයන් වාර්තා වී ඇති අතර මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදරු මවක් ද මියගොස් තිබේ.

උණවටුන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටින වැඩිහිටියන් 27කුට කොවිඩ් ආසාදනය වී ඇති අතර, ඊයේ (23දා) වැඩිහිටියන් 164 කට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී මොවුන්ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් පසුගිය 22 වැනිදා කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී ඇත. මතුගම, අගලවත්ත, වරකාගොඩ, අළුත්ගම, බණ්ඩාරගම යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් වාර්තා වී තිබේ. මෙම පිරිස අතර භික්ෂුන් වහන්සේලාද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37 දෙනෙකුට හා පොතුවිල් පොලිසියේ ​පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ද කොවිඩ් රෝගය වැලඳී ඇතැයි කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. සුගුණන් මහතා පැවැසීය.