පාලම් පාරුවක් පෙරළී සිසුන් හයක් මරුට

0
Six Students Dead in Kinniya - පාලම් පාරුවක් පෙරළී සිසුන් හයක් මරුට
කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පිරිස අද පෙරවරුවේ පාසල් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනකු පමණ ගමන් කර ඇති අතර ඉන් කීපදෙනකු පීනා ගොඩට ඇවිත් ඇතැයි ද දැනගන්නට ඇත.

කින්නියා සහ කුරුඤ්ඤන්කුලම යා කරමින් මෙම පාලම් පාරුව සේවයේ යොදවා ඇත්තේ දැනට එහි ඇති පරණ පාලම වෙනුවෙන් නව පාලමක් ඉදිකරන නිසා බව ද ප්‍රදේශවාසීහු පවසයි.

මියගිය ගණන මීට වඩා ඉහළ යා හැකි බව ද පොලිසිය පවසයි. අතුරදහන් වුවන් සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ත්‍රිකුණාමලය – කින්නියා – කුරිඤ්ඤංකේනි කලපුවේ පාලම් පාරුවක් පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පිරිසක් මිය යාමත් සමග ඊට විරෝධය පළ කරමින් කින්නියා නගරයේ විරෝධතාවක් පැවැත්වෙනවා.

සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් 4 දෙනෙකු ද සිටිනවා.

ඔවුන් අවුරුදු 3 හමාර, 6 සහ 8 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව පාරුවේ ගමන් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි මවක් ද ජීවිතක්ෂයට පත්වුණා.

ඇගේ දරුවන් දෙදෙනා ද මිය ගොස් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පාරුව පෙරළීමෙන් රෝහල් ගත කළ 20 දෙනාගෙන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර ඉන් එක් අයෙකු කින්නියා රෝහලේ සිට ත්‍රිකුණාමලය මහරෝහල වෙත මාරු කර යැවුණා.

පැරණි පාලම වෙනුවට කලපුව හරහා නව පාලමක් ඉදිකෙරෙමින් පවතින අතර ඒ හේතුවෙනුයි බැරල් සහ ලී යොදා ගනිමින් මෙම පාලම් පාරුව සකස් කර ඇත්තේ.

ඒ අනුව එදිනෙදා වැඩ කටයුතු සඳහා පාසල් ළමයින් ඇතුළු පුද්ගලයින් පිරිසක් අද උදෑසන මෙහි ගමන් කරමින් සිට තිබෙනවා.

ඊට ආධාරකයක් ලෙස දෙපසින් කේබල් ද යොදා තිබූ අතර, එලෙස යොදා තිබූ කේබලයක් කැඩී යාම නිසා පාලම් පාරුව පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සැක කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

මේ අතර, නාවික හමුදාව, මේ වන විට අදාළ ස්ථානයේ මෙහෙයුමක් දියත් කර ඇත්තේ අතුරුදන් වී ඇති පුද්ගලයින් සෙවීම සඳහායි.

කෙසේ වෙතත්, මෙම අනතුරට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද කින්නියා නගරයේ විරෝධතාවක නිරත වුණා. හිරු වාර්තාකරු සඳහන් කළේ කින්නියා – බුහාර් මංසන්ධියේ ටයර් පුළුස්සමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.