භූමිතෙල් ඉල්ලුම දෙගුණ වෙයි

0
demand Doubles - භූමි තෙල් ඉල්ලුම දෙගුණ වෙයි
මේ දිනවල මෙරට භූමිතෙල් ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට දෛනික භූමිතෙල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 550ක් බවයි.

එමෙන්ම මඩකලපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේ සිමෙන්ති තොගයක් සගවා තිබූ ස්ථානයකට ඊයේ පාරිභෝගික අධිකාරිය මුද්‍රා තබා තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ එහි සිමෙන්ති කොට්ට 800කට වැඩි ප්‍රමාණයක් තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙවර මහ කන්නය සඳහා වගා කළ යුතු හෙක්ටයාර ලක්ෂ 8න් හෙක්ටයාර පන්ලක්ෂ 21,000ක වගා කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවින් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය ලබන 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ, කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි.

එහිදී වගඋත්තරකාර චීන සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, නීත්‍යානුකූල ප්‍රමිති වාර්තා ඉදිරිපත් කර තමන් විසින් මහජන බැංකුවේ ණයවර ලිපි විවෘත කළ බවයි.

එසේ තිබියදී එය අත්හිටුවීම නීතියට පටහැනි බව ඔවුන් පෙන්වා දුන්නා. නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි චීන සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට විනිසුරුවරයා දැනුම් දෙනු ලැබුවේ.