සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ගුරුවරු විරෝධතාවයකට සැරසේ

0
සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ජෝසෆ් ස්ටාලීන් මහතා සඳහන කර සිටියේ, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති මේ වන විට ආරම්භ කර ඇති  අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

“අපි මේ දිනවල විශේෂයෙන් ම ගුරු – විදුහල්පතිවරු අකුරට වැඩකිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පාසල් පද්ධතියේ සිදුකරමින් ඉන්නේ. අපි ළමයින්ට ඉගැන්වීම් පමණයි කරන්නේ. වෙනත් කාර්යන් කිසිවත් අපි කරන්නේ නෑ. අපේ රාජකාරිය 7.30 – 1.30 දක්වා පමණයි සිදුවන්නේ. අද දවසේ සිට අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් තත්ත්වයක්. සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා 9 වනදා පස්වරු 2ට ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයෝ කැඳවන්න. එතන දී ගුරු අරගලය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ගන්න සහ ඒ අරගලය පෙරට ගෙනයෑමට. අපි පැහැදිලිවම කියන්න කැමතියි මේ අරගල සියල්ල ඒකාබද්ධ වන දිනය වැඩි ඈතක නෙමෙයි කියන එක ආණ්ඩුව දැනගත යුතුයි.”

ආණ්ඩුව විසින් ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව නොසලකා හැරීම මෙරට නිදහස් අධ්‍යාපනයට එල්ලවු පහරක් බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.