සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක්

0
Sugar Milk Powder and Cements - සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක්
සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක් පැවතීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ආනයනනික සුදු සීනි රට පුරාම නොමැති තත්වයක් ඇති වී ඇති බවත් දේශීය නිෂ්පාදිත රතු සීනි ලැබෙන සීමිත ප්‍රමාණය එක පුද්ගලයකුට වරකට කිලෝව බැගින් ලබාදෙන බවත් කොළඹ ප්‍රදේශයේ සිල්ලර වෙළෙන්දෝ පවසති.

රතු සීනි පමණක් අළෙවි කරන ලංකා සතොස උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසුවේ සතොස තුළ ද සීනි තොග නොමැති වීම නිසා රට පුරා සතොස අළෙවිසල්වල ද සීනි නොමැති බවයි.

මහා පරිමාණ සීනි ආනයනකරුවන් පවසන්නේ තමන් ආනයනය කළ සීනි කන්ටේනර් විශාල ප්‍රමාණයක් වරාය තුළ හිරවී තිබීමත් සීනි කිලෝවක් රුපියල් 116 ක උපරිම තොග මිලට අළෙවි කළ නොහැකි නිසා ආනයනය අත්හිටුවා ඇති බවත්ය.

ප්‍රධාන සිමෙන්ති සමාගමක අළෙවි ප්‍රධානියෙක් පැවසුවේ මිල ඉහළ දැමූව ද ආනයනික සිමෙන්ති ලැබීමට තවත් සතිකීපයක් ගතවනු ඇති බවත් දේශීය නිෂ්පාදනයෙන් සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60 ක් පමණක් ආවරණය වන බවත්ය.

මහා පාරිමාණ ඉදිකිරීම් සමාගම් සිමෙන්ති තොග රැස්කරගැනීම නිසා සාමාන්‍ය වෙළෙඳපොල තුළ සිමෙන්ති හිඟයක් සහ වැඩි මිලට සිමෙන්ති විකිණීමේ ජාවාරම් පිළිබඳව වාර්තා වී ඇති බවත් එම නිලධාරියා කීය.

කොළඹ සහ අවට ප්‍රදේශවල සතියකට අවශ්‍ය කිරිපිටි සැපයුම දින දෙකකින් ජනතාව මිලදී ගැනීම නිසා ව්‍යාජ කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

නැවත කිරිපිටි හිඟයක් ඇතිවේ යැයි බියෙන් කොළඹ සහ අවට ජනතාව එකවර කිරි පැකට් 10 ක් පමණ රැගෙන යෑම නිසා සතියක සැපයුම දින දෙකෙන් අවසන් වීමේ තත්වයක් නිර්මාණය වී ඇති බව කී ලක්ෂ්මන් වීරසූරිය මහතා කිරිපිටි සමාගම් පහ ශ්‍රී ලංකාවේ සතියක කිරිපිටි අවශ්‍යතාව වන කිලෝ 240,000 අඩුවකින් තොරව සපයන බව ද සඳහන් කළේය.

යාපනය, කිලිනොච්චි යන ප්‍රදේශවල ද හිඟයකින් තොරව කිරිපිටි තොග ඇති බවත් ජනතාව අපහසුතාවට පත්වීම වැලැක්වීම සඳහා කොළඹ ප්‍රදේශයට අතිරේක තොග සපයා ඇති බවත් වීරසූරිය මහතා කීය.