එන්නතක් විෂ වී කොවිඩ් රෝගියා මියයයි

0
Covid Patient Dead by Injection Alagic - එන්නතක් විෂ වී කොවිඩ් රෝගියා මියයයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කොවිඩ් වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් එන්නතක් විෂ වීමෙන් ඔහු මිය ගියේ යැයි ඔහුගේ පවුලේ පිරිස චෝදනා කරති.

මෙසේ මිය ගොස් ඇත්තේ පිළියන්දල මාවිත්තර පදිංචිව සිටි එන්.ජී.සී.කේ ගමගේ නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.ව්‍යාපාරිකයෙක් වූ ඔහු දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්ද වූ අතරම සෙනෙහෙ බර සැමියෙකි.

නොසිතූ මොහොතක සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ තවමත් කම්පනයෙන් සිටින මියගිය පුද්ගලයා ගේ වැඩිමහල් පුතු වන කලන නුවන් හැඬූ කදුලින් මෙසේ පැවසීය .

“පසුගිය 13 වනදා රාත්‍රියේ තාත්තාට හුස්ම ගන්න අපහසුතාවයක් සහ ගැස්ට්‍රයිටීස් වැඩි වීම නිසා අපි ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගියා. එතනදී රෝහල් කාර්‍ය මණ්ඩලය විසින් සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තාත්තා කොවිඩ් ආසාදිතයි කියලා හඳුනා ගත් නිසා එදින රාත්‍රියේම තාත්තාව කොවිඩ් ආසාදිත වාට්ටුවට ඇතුළත් කළා. අවදානමක් අරගෙන තාත්තාට තිබුන ආදරය නිසාම මමත් තාත්තාත් එක්කම රෝහලේ තාත්තාව බලා ගන්න නතර වුනා.

පසුව 14, 15, 16 දවස් වල තාත්තා හොඳට අමාරුවක් නැතිව හිටියා. වාට්ටුවේ වෛද්‍යවරයාත් තාත්තාව පරික්ෂා කරල බලල කිව්වා තාත්තාට සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි තියෙන්නේ කියලා. හැබැයි ඒ අතරතුරත් තාත්තාට ගැස්ට්‍රයිටීස් අමාරුව තිබුණා. තාත්තා වකුගඩු රෝගියෙක්, දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රෝග ලක්ෂණත් තිබුණා. අපි මේ සේරම රෝග ගැන රෝහල් බලධාරීන්, වෛද්‍යවරුන් දැනුවත් කර තිබුණේ. තාත්තා බොන බෙහෙත්, පරණ රෝග වාර්තා සියල්ලම වෛද්‍යවරුන්ට අපි ලබා දීලා තිබුනේ .

16 වෙනිදා රෑ තාත්තාට ගැස්ට්‍රයිටීස් වැඩි වුනා. මම ඒ ගැන වෛද්‍යවරුන් දැනුවත් කලාම තාත්තාට ඔක්සිජන් ලබා දුන්නා. 17 වෙනිදා උදේ වාට්ටු බාර ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැමිණියාම මම ඔහුගෙන් ඉල්ලා සිටියා තාත්තා ගේ බඩ පිපිලා වගෙ නිසා බඩේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට. නමුත් තාත්තා කොවිඩ් රෝගියෙක් නිසා සාමාන්‍ය රෝගීන් සඳහා භාවිතා කරන යන්ත්‍ර වලින් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි නිසා ඔහු පැවසුවා අපි බෙහෙත් කරලා බලමු කියලා. පසුව ලේ සහ මූත්‍රා පරීක්ෂණ කිහිපයක්ම සිදු කලා. ඒ වගේම එම ප්‍රධාන වෛද්‍යවරයා මගෙන් ඇහුවා එන්නතක් තියෙනවා ඒක පිටින් ගෙනත් දෙන්න පුලුවන් ද ඒක ලබා දුන්නොත් දින දෙකකින් වගේ මේ ලෙඩේ හොඳ වෙයි කියලා.

තාත්තාව සනීප කරගන්න තියෙන අවශ්‍යතාවය නිසාම මම කිව්ව මම දැන් වුණත් ඒක ගෙනත් දෙන්නම් කියලා. එතකොට ඔහු කියුවා මේ බෙහෙත ලංකාවේ පිට ෆාමසී වල නෑ මම වට්ස් ඇප් අංකයක් දෙන්නම් ඒකට කතා කරලා ගන්න කියලා. පසුව මම ඒකට කතා කරලා බෙහෙත ලියපු කොලේ වට්ස් ඇප් කරාම මට පැය භාගයක් වගේ ඇතුළත රෝහලටම බෙහෙත් ගෙනත් දුන්නා. මම ඒ වෙනුවෙන් රුපියල් 21000/= ගෙවුවා. ඒකේ බිල්පත් සියල්ල මගේ ගාව තියෙනවා. ඒ බෙහෙතේ කුප්පි 6ක් තිබුනා . පසුව එදින සවස සේලයින් බෝතලයක සේලයින් සමග ඒ බෙහෙත් තාත්තාට ලබා දුන්නා. ඒ සේලයින් බෝතලයේ මම මිලදී ගත්ත බෙහෙතේ නම සඳහන් කරලා තිබුනා.

ඒ සේලයින් බෝතලේ තාත්තා ගේ අතට සම්භන්ද කරලා තිබුණු කට්ටෙන් බිංදු දහයක් ගියේ නෑ තාත්තා දත්මිටි කාගෙන දඟලන්න ගත්තා. එතකොටම ඒ බෙහෙත ලබා දුන්න නර්ස් කෑගැහුවා ඇලජික් වෙලා ඇලජික් වෙලා කියලා. මුළු වාට්ටුවම ඒ වෙළේ කලබල වුනා. ඒ වෙළාවේ වෛද්‍යවරියන් දෙදෙනෙකු ඇවිත් තාත්තා ව පරීක්ෂා කළා. පසුව ප්‍රධාන වෛද්‍යවරයාත් ආව. ඔවුන් තාත්තාට හයිප්‍රෙශර් ඔක්සිජන් මාස්ක් එකක් දැම්මා. මම ඒ වෙලාවේ දැක්කා තාත්තා ගේ කටින් ලේ ගලනවා. තාත්තා නැගිටලා දඟලලා මාස්ක් එක අයින් කලා. පස්සේ එයාගේ කටින් රෝස පාටට දියරක් පිටවුනා. ඒත් එක්කම තාත්තා ඇඳට වැටුනා. එච්චරයි.

අපි මේ පිළිබඳව මිරිහාන පොලිසියේ පැමිණිලලක්ද කරා. මේක රෝහලේ වෛද්‍යවරුන්ගේ වරදක්. දැන් තාත්තා නෑ. අපිට කරුණාකරලා සාදාරණයක් ඉටු කරලා දෙන්න.”

මෙය කොවිඩ් ආසාදිත මරණයක් හේතුවෙන් දේහය ඥාතීන් වෙත බාරදීම සිදුනොවූ අතරම පරීක්ෂණ අවසන් නොමැති බැවින් දේහය අද මඩකලපුවේදී භූමදානය කරනු ලබයි.