තවත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවේ

0
Warning of New Coronavirus Outbreak - තවත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවේ

සමාජ ව්‍යාප්තියක් සහිතව ඉහළ අගයකින් රෝගීන් වාර්තාවෙමින් පස්වැනි කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමේ අවදානම් සහගත මොහොතක කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට පවතින කොවිඩ් පරීක්‍ෂණ ධාරිතා කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ රටවල රෝගීන් හඳුනා ගැනීමේ පරීක්‍ෂණ කිසිසේත් සීමාසහිත සාධකයක් වී නොමැති බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු එහිදී සඳහන් කර තිබෙනවා.

මේ වන විට ලෝකයේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා තාක්‍ෂණිකව දියුණු සහ අඩු පිරිවැයකින් යුත් ඉතා කෙටි කාලයකින් වාර්තාවන් ලැබෙන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් භාවිත කරන බව පෙන්වා දෙන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට භාවිත කරනු ලබන්නේ, RT-PCR පරීක්‍ෂණය සහ ක්‍ෂණික ප්‍රතිදේහජනක (Rapid Antigen) පරීක්‍ෂාව (RAT) පමණක් බවද සඳහන් කරනවා.

එම RT-PCR පරීක්‍ෂණයක් සඳහා රුපියල් 6000ක් වැනි අධික මුදලක්ද, RAT පරීක්‍ෂණය සඳහා රුපියල් 2500ක් වැනි අධික මුදලක්ද වැය වන අතර, මෙහිදී ඇතැම් සමාගම් අසීමිත ලෙස ලාභ ලබන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙනවා.

ඇතැම් රටවල් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ ඉතා අඩු පිරිවැයකට ලබා ගැනීමට හැකි අතර, එම පරීක්‍ෂණය තමන්ටම සිදුකර ගත හැකි ලෙස ඉතා සරල ක්‍රමවේදයන්ද හඳුන්වාදී ඇතැයි හෙතෙම සඳහන් කරනවා.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)