අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක සහන මල්ලක් නිවසටම.. 1998 අංකය අමතන්න…

0
Sathosa Sahana Malla - අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක සහන මල්ලක් නිවසටම.. 1998 අංකය අමතන්න...

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයක් මතක්‍රියාත්මක කිරීමට නියමිත, ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් රු.1998/=ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් නිවසටම ගෙන්වා ගැනීමේ නිල සමාරම්භක අවස්ථාව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි රු.2600/=කට වඩා වැඩි මිළකට අළෙවි වන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් මෙම සහන මල්ල, දිවයින පුරා සතොස අළෙවි ශාඛා මඟින් ලබා ගැනීමේ හැකියාව හෙට දින සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම සතොස සමඟ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ වීමෙන් මෙම ක්ෂණික ඇමතුම් සේවාව ක්‍රියාත්මක කිරීම හා බෙදාහැරීම් නියෝජිතයන් ඒ ඒ ශාඛා සඳහා යොමු කිරීමේ කටයුතු සිදු කරනු ලැබීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාවය ද පළ කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රජයේ මිළ තීරකයා වශයෙන් සතොස අළෙවිසැල් ජාලය හරහා ක්‍රියාත්මක වන මෙම “1998 සහන මල්ල” වැඩසටහන හුදෙක්ම පාරිභෝගිකජනතාව වෙත ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළගණන් යටතේ ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් බවත්, ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මත පීඩනයක් ඇති වීම වළක්වා ලමින් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ක්‍රියාත්මක වන වැඩසටහනක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම සතොස අළෙවිසැල් තුළ මේ දිනවල පවතින අධික භාණ්ඩ ඉල්ලුම අනුව,එම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම සඳහා අවශ්‍ය තොග ඒ ඒ අළෙවිසැල් වලට ලඟා වීම කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා විධිමත් දත්ත පද්ධතියක් භාවිතා කොට, ඒ ඒ අළෙවිසැල් තුළ පවතින භාණ්ඩ තොග පිළිබඳ දත්ත ස්වයංක්‍රීයව අදාළ තොග ගබඩා වෙත යොමු වීමට ක්‍රමවේදයක් සකස් කොට, සාමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැර වූ වඩා වේගවත් ක්‍රියාවලියක් තුළින් අවශ්‍ය භාණ්ඩ තොග ඒ ඒ අළෙවිසැල් වෙත ලබා දීමට අවශ්‍ය නවීන ක්‍රමවේද සකසා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.