සහල් උපරිම සිල්ලර මිල ඉහළට.. වැඩිවෙන සහල් මිල මෙන්න…

0
Rice Prices - සහල් උපරිම සිල්ලර මිල ඉහළට.. වැඩිවෙන සහල් මිල මෙන්න...

සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල යළි සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සුදු හා රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 95ක් ලෙසද, වාෂ්පයෙන් තම්බනලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 98ක් ලෙසද, වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 105ක් ලෙසද, සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 105ක් ලෙසද, කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසද සඳහන් කරමින් මිල සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

නව මිල සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට අද (16) යොමු කිරීමට පියවර ගෙන ඇත. අමාත්‍ය මණ්ඩල තීරණය අනුව නව ගැසට් නිවේදනයක් හෙට (17) නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානමින් සිටියි.

සහල් සඳහා වන තොග මිලෙහි අසාමාන්‍ය ඉහළ යාමක් නිරීක්ෂණය වූ බැවින් සහල් නිෂ්පාදකයන්ට හා මෝල් හිමියන්ට අදාළව සහල් සඳහා උපරිම තොග මිලක්ද නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2020 නොවැම්බර් මස ද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් සහල් මිල වැඩි වී ඇති බැවින්, සහල්වල නිෂ්පාදන වියදම ද වැඩිවී ඇති බැවින් සාධාරණ උපරිම සිල්ලර මිලක් වෙළෙඳුන්ට ලබා දීමේ අරමුනින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව සුදු හා රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 93කි. කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 120කි. වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 98කි. වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 96කි. සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 98ක් විය.

මේ අනුව සුදු හා රතු කැකුළු සහල්, වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු නාඩු, වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු සම්බා, සුදු හා රතු කැකුළු සම්බා, කීරි සම්බා යන සෑම සහල් වර්ගයකම උපරිම සිල්ලර මිල රුපියල් 2-10ක් යන මුදල් පරාසයකින් වැඩි වෙයි.

(aruna.lk වෙබ් අඩවිය ඇසුරිනි)