යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස රට ගොඩනඟනවා, අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම් ආරම්භකරමින් ජනපතිගෙන් සහතිකයක්

0
කඩවත මීරිගම

2022 – 2023 ආර්ථික අර්බුදය සහ ඒ තුළින් ජනිත කළ සමාජ ඛේදවාචකය ඕපපාතික ක්‍රියාවක් නොවන බවත් ඒ හා බැඳුනු විශාල සාධක ගණනාවක් ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ලෙස රට ගොඩනඟන බවට ජනතාවට සහතික වන බව ද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත මීරිගම කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය නොවන බවත් පැති ගණනාවකින් එය තහවුරු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම සමස්ත ආර්ථිකය සහ ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක්ව තිබු මොහොතක 2026 අයවැය තුළින් ආර්ථික අර්බුදය අවසන් කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

“විශේෂයෙන් පසුගිය ජනවාරියේ චීන සංචාරයේ දී මා චීන ජනපතිගෙන් ඉල්ලා සිටියා අපට නැවත චීන රජය විසින් ණය ආධාර මත ආරම්භ කර ඇති ව්‍යාපෘති ආරම්භ කරන්න සහාය දෙන්න කියලා. එතුමා විශේෂ අවධානය යොමුකරලා ඒ නතර වී ඇති සියලු ව්‍යාපෘති ආරම්භ කරන්න අවශ්‍ය ආධාර චීන රජයෙන් ලබාදෙන්න එකඟත්වය පළ කරා. එයට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා. 

ඒ වගේම අපි මෙම අධිවේගී කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒ අනුව එතුමාලා අපිට දැනුවත් කළා ඩොලර් වලින් විශේෂ ණය යෝජනා ක්‍රම නොමැති බවත් එය යුවාන්වලින් ගෙවිය හැකි බවත්. ඒ අනුව 2.5% – 3.5%අතර පොලී අනුපාතයකට මෙම ණය මුදල අපිට ප්‍රදානයට චීන එක්සිම් බැංකුව අපිට කැමැත්ත පළ කරා. එයට ස්තූතියි.”

නීතිය ඉදිරියේ සියලුදෙනා සමානයි යන සංකල්පය ඇති කළ බවත් නීතියට සෑම පුරවැසියෙක්ම යටත් කර ස්ථාවර රාජ්‍යයක් බිහි කරන බව ද පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“අපිට මේ මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවුන්ට අවි ආයුධ ලැබෙනවා නීතියානුකූල හමුදාවන් විසින් කුඩු ප්‍රවාහනය කරනවා.එය මැඩපැවැත්වීමට ඉන්න පොලීසිය ඔවුන්ට රැකවරණය දෙනවා. දේශපාලන අධිකාරිය විසින් නීතිවිරෝධී පාස්පෝට් හදලා දෙනවා. නීතියානුකූල පාස්පෝට් සෑදීම වැළැක්වීම සඳහා තිබෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට මෝටර්රථ ලියාපදිංචි කරලා දෙනවා. මෝටර්රථ ලියාපදිංචියට තියෙන ආයතන විසින් ඔවුන්ට නීතියේ රැකවරණයත් ලබාදෙනවා. ඒ නිසා මේ මතුපිට තිබෙන රාජ්‍යයට සමාන යටිබිම්ගත රාජ්‍යයක් සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත තිබෙනවා. තැන තැන වෙඩිතැබීම්, මත්ද්‍රව්‍ය ආදි විශාල සමාජ අපරාධවලින් ගහණ වූ යටිබිම්ගත රාජ්‍යයක්. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහතික වශයෙන්ම අවසන් කරනවා.”

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජයේ විශාල ව්‍යවසනයක් ඇති කර ඇති බවත් එය මැඩපවත්වන බවත් පැවසු ජනාධිපතිවරයා, ඒ සඳහා අවශ්‍ය අභියෝගය හා විශ්වාසය පොලීසිය භාරගෙන ඇති බවත් ඔවුන්ට ස්තූතිය පළ කරන බවත් පැවසීය.

මහජන මුදල් සතයක් හොරකම් නොකරන දේශපාලන අධිකාරියක් මේ වනවිට ඇති කර ඇති බවත් තැන තැන පරණ ඇබ්බැහිවලට ලොල්වූ පුද්ගලයින් ඇති බවට හඳුනාගෙන ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“පරණ ඇබ්බැහිවලට ලොල්වු රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් පුද්ගලයින් සහ සමහර තැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි නැවත නැවත කියන්නේ අලුත් දේශපාලනයට අනුව හැඩගැසෙන්න අවස්ථාව තියෙනවා. එසේ නොමැති නම් ඔවුන්ට දාලා යන්න පුළුවන්. දාලා යන්නේ නැත්නම් ඔවුන්ව අපි අයින් කරනවා. අපිට අවශ්‍යයි මහජනයාගේ සෑම රුපියලකටම ගරු කරන සාංඝික දේපොළක් වගේ ආරක්ෂා කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි.”

2026 වසරේ දී රු කෝටි 11,000ක් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට වෙන්කර ඇති බවත්, 2027 වන විට රාජ්‍ය සේවයේ වැඩි වූ වැටුප් ගෙවීමට පමණක් රු කෝටි 33,000ක් වැය කරන බවත් පැවසු ජනාධිපතිවරයා එය රාජ්‍ය අයවැය ලේඛනයේ විශාල මුදලක් බවත් එයට සරිසරන සේවාවක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් බවත් පැවසීය.

රාජ්‍ය ආයතනවලට අදාළව වාහන 2,000ක් මේ වසර තුළ ආනයනය කිරීමට දැනටමත් අනුමැතිය ලබාදී ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා ලබන වසර වනවිට රාජ්‍ය සේවයේ සියලු වැඩකටයුතු ඩිජිටල්කරණය කිරීමට හැකි වන බවද කියා සිටියේය.

ආර්ථිකයේ සෑම කේෂ්ත්‍රයකම වැදගත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇතැයි පැවසු ජනාධිපතිවරයා, ආදායම් ඉලක්ක මෙවර අයවැය තුළින් ඉටුකරගන්නා බව ද පැවසීය.

මේ වසර අවසන් වනවිට 5%කට ආසන්න ආර්ථික වේගයක් අත්පත් කරගැනීමට අපේක්ෂා කරන බව ද පැවසු ජනාධිපතිවරයා, මේ වසර අවසන් වන විට බිලියන 7ක් ඩොලර් සංචිත ප්‍රමාණයක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ඩොලර් බිලියනක ඍජු ආයෝජන මේ වනවිට මෙරටට කැඳවා ගැනීමට හැකිව තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා තවත් ව්‍යාපෘති රැසක් සපුරාගැනීමට නියමිත බව ද පැවසීය.

“බිඳවැටුණු රාජ්‍යයක් තොරන් ආර්ථිකයින් නොව ස්ථාවර ආර්ථිකයින් ගොඩනඟමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ, ආර්ථිකය, සමාජ ජීවිතය, දේශපාලන, නීතියේ ආධිපත්‍ය වැදගත් හැරවුමකට භාජනය කළ වසරක් බව…”

“අපි ආර්ථිකය ගැන විශ්වාසය තහවුරු කළ යුතුයි. මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ විවිධ මුල්‍ය ආයතන ලංකාවේ ආර්ථිකය ගැන දෙන සංඥව ඉතා වැදගත්. ලෝක බැංකු නිවේදනයකින් කියනවා බිඳවැටුණු රටවල් ගොඩනැගීමේ දී වේගවත්ම රට ශ්‍රී ලංකාව කියන නාමය අපිට ලබාදීලා තියෙනවා. ඒවා වැදගත් සාධක. ඒ නිසා ඉතාම ස්ථාවරව මේ ගමන අපි යමින් ඉන්නවා. එළියේ කුඩා කුඩා දේශපාලන කැලඹීම් තියෙනවා. අපි බලන්නෙවත් නෑ.”

“අපි අවශ්‍ය වන්නේ දියුණු දේශපාලනඥයෙක්. දියුණු පුරවැසියෙක්. අපිට කිසිසේත්ම අවශ්‍ය නෑ වන්දනාමාන කරන පුරවැසියෙක්. තම තමන්ගේ වගකීම් ඉටුකරන පුරවැසියන් අපට අවශ්‍යයි. මිනිස්සුන්ව මේ දේශපාලන අධිකාරිය බියකළා. ලෝකයේ දියුණු හැම රටකම දේශපාලන දියුණුව වගේම පුරවැසියාගේ දියුණුව වැදගත්. දේශපාලකයාට බය පුරවැසියෙකුගෙන් රටක් ඉදිරියට යා නොහැකියි. රටක් ඉදිරියට යා හැක්කේ දියුණු පුරවැසියෙකුගෙන්. ඒ පුරවැසියා බිහිකළ හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරනවා.

කොඳු සිඳගත් ජාතියකට දියුණු ජාතියක් වෙන්න බෑ. ප්‍රශ්න කරන, තමන්ගේ අදහස් නිර්භයව කියන, පොදු සාමුහික ක්‍රියාවලට එකතු වන, සහකම්පනයක් ඇති වෙන දියුණු මිනිස්සුගෙන් පමණයි දියුණු ජාතියක් හැදිය හැක්කේ. අපි විශ්වාස කරනවා ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගෙන තියෙනවා. අපිට කළ හැකියි.”

ව්‍යාපෘති නිසි කාලයට නිම නොකිරීම ආර්ථිකයට විශාල පාඩුවක් බවද සඳහන් සිටි ජනාධිපතිවරයා, නියමිත කලට මධ්‍යම අධිවේගයේ කටයුතු කිරීම නිලධාරින් සතු වගකීමක් බවත් එයට අවශ්‍ය සියලු සහාය රජයක් ලෙස ලබාදෙන බවත් මෙහිදී අවධාරණය කර සිටියේය.