ඉන්දීය අග්‍රමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ සංචාරය ශ්‍රී ලංකාවට උපක්‍රමිකව වැදගත් වන හේතු මෙන්න

0
ඉන්දීය අග්‍රමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ‘මීළඟ නායකයා’ (Potential Leader) විය හැකි බව හඳුනාගත් නවදිල්ලිය, ජාතික ජන බලවේගයේ නායකයින්ට ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේ, පසුගිය ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර 2024 වසරේදී ය.

ජාතික ජනබලවේගය නියෝජනය කරන ප්‍රධානතම පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී ඉන්දීය ව්‍යාප්තවාදය හා ඉන්දියාව ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීම කෙරෙහි බරපතළ ලෙස විරෝධය දක්වා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරා ගත්තේ, අසල්වැසි ඉන්දියාව ය.

අනතුරුව චීනයටත් තෙවනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් ජනාධිපති අනුර කුමාර දිසානායක සංචාරය කළේ ය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක ජනපතිවරයා විසින් කොළඹදී පිළිගනු ලබන පළමු රාජ්‍ය නායකයා වන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ය. ඒ, ඔහු ම ඉන්දීය අග්‍රමාත්‍යවරයාට කළ ආරාධනයකට අනුව ය.

මෙවර ඉන්දීය අග්‍රමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ සිව් වන වරට ය.

මෝදි අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය හෙට (අප්‍රේල් 05) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත.

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ මීළඟ විභව නායකයෙකු විය හැකි බව හඳුනාගත් නවදිල්ලිය, ජාතික ජන බලවේගයේ නායකයින්ට ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කරන්නේ පසුගිය ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර 2024 වසරේදීය.
ඡායාරූප ශීර්ෂ වැකිය,2024 වසරේ ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් ඉන්දීය රජයේ ආරාධනයකට අනුව නවදිල්ලියේ සංචාරය කළ අවස්ථාව

දෙරට අතර අත්සන් තබන ගිවිසුම් මොනවා ද?

ඉන්දීය අග්‍රමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතුරතුර හවුමාරු කර ගන්නා ගිවිසුම් මොනවා ද යන්න පිළිබඳව බොහෝ විචාරකයින්ගේ අවධානය යොමුව තිබේ.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, ඩිජිටල්කරණ සහයෝගීතාව,සෞඛ්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුම්වලට සහ බලශක්ති සහයෝගීතාවට අදාළ ගිවිසුම් දෙකක් හුවමාරු කර ගැනීමට නියමිත ය.

එමෙන් ම, දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති ණය ප්‍රතිව්‍යූගතකරණයට අදාළ ගිවිසුම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර හුවමාරු කර ගැනීමට නියමිත ය.

ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය) හා ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක පියසි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරෙනු ඇත.

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිෂ්රි මාර්තු 28 නවදිල්ලියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, “අපි ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගීතා ගිවිසුම යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් ඉන්නවා, මෙම සංචාරයේදී එය අවසන් කළ හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තායිලන්තයේ සහ ශ්‍රී ලංකා සංචාරයේ නිරත වන්නේ, ‘පළමුව අසල්වැසියා’ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ සිය දැක්ම කෙරෙහි ඇති කැපවීම නැවත තහවුරු කරන ඉන්දියාවේ ‘Act East’ (ඇක්ට් ඊස්ට්) සහ ‘Mahasagar’ (මහාසාගර්) යන ප්‍රතිපත්තිවලට අනුකූලව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

බලශක්ති ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක්

ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ භෞතික සම්බන්ධතා, ඩිජිටල් සම්බන්ධතාව, බලශක්ති සම්බන්ධතාව සහ වෙනත් විවිධ ක්ෂේත්‍රවල සම්බන්ධතා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසීය.

බලශක්ති සහයෝගීතාව පිළිබඳ ගිවිසුම් මෙහිදී සුවිශේෂ වන අතර ග්‍රිඩ් සබඳතා පිළිබඳ ගිවිසුමක් ද ඊට අයත් වේ.

ශ්‍රී ලංකාව නැවත සිය වර්ධන මාවතට ප්‍රවේශ වීමත් සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ශ්‍රී ලංකා සංචාරය සිදුවන අතර මෙමගින් රටවල් දෙකට ම හවුල්කාරිත්වයේ සහ සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට නව අවස්ථා ලබා දෙනු ඇතැයි ඉන්දීය විදේශ ලෙක්ම්වරයා සඳහන් කළේ ය.

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ අවස්ථාව දෙරට අතර ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇතැයි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිෂ්රී පැවසීය.

ඔහු කියා සිටියේ, ඉන්දියාව ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කාර්යභාරයක් ඉටු කරන බව යි.

ඉන්දියාවේ IOC සමාගමේ ශ්‍රී ලංකාවේ අනුබද්ධිත සමාගම වන ලංකා IOC සමාගම, ශ්‍රී ලංකාව තුළ බලශක්ති නිෂ්පාදන සැපයීම සම්බන්ධයෙන් සැලකිය යුතු දායකත්වයක් සපයන අතර, ඔවුහු තවත් ක්ෂේත්‍ර ගණනාවක සාකච්ඡාවලට සම්බන්ධ වී සිටිති.

“මේ සංචාරයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් දැකීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ඇතැම් ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා වෙනත් ක්ෂේත්‍ර පිළිබඳව ද අපි සොයා බලමින් සිටිනවා. ඒවා බලශක්ති කේන්ද්‍රස්ථාන ලෙස ක්‍රියා කළ හැකි අතර බලශක්ති සම්බන්ධ ගැටලු හෝ බලශක්ති ආශ්‍රිත ව්‍යාපෘති වෙන්න පුළුවන්. මේ සියල්ල සාකච්ඡාවල විවිධ අදියරවල පවතිනවා. මා පැවසූ පරිදි, මේ සංචාරය අවසන් වන විට මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියට යන ආකාරය පිළිබඳ යාවත්කාලීන කිරීමක් ඔබට ලබා දීමට හැකි වනවා,” ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කාර්යභාරයක් ඉටු කරන බව ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිෂ්රි ප්‍රකාශ කළේය
ඡායාරූප ශීර්ෂ වැකිය,මෙම සංචාරයේදී ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ භෞතික සම්බන්ධතා, ඩිජිටල් සම්බන්ධතාව, බලශක්ති සම්බන්ධතාව සහ වෙනත් විවිධ ක්ෂේත්‍රවල සම්බන්ධතා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිෂ්රි ප්‍රකාශ කළේ ය.

ආචාර්ය දයාන් ජයතිලකගේ විග්‍රහය

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ සංචාරය පිළිබඳ අදහස් දක්වමින් හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල වෙත මෙසේ සඳහන් කළේ ය.

“මෝදි අගමැතිතුමාගේ මෙවර පැමිණීම ලංකාවට අතිශයින් ම බලපාන, බොහෝ දුරට නිශේධාත්මක ආකාරයකට බලපාන ප්‍රතිඵලවලට තුඩු දිය හැකි යි. මම එහෙම කියන්නේ ඉන්දීය වාර්තා අනුව සහ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රධාන ප්‍රකාශකයා හෙළිදරව් කර ඇති ආකාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර පළවෙනි වතාවට, පළවෙනි වතාවට කියන්නේ ලංකාව සහ ඉන්දියාව‍ දීර්ඝ සම්බන්ධකමේ පළවෙනි වතාවට ආරක්ෂක ගිවිසුමක්, ‘ඩිෆෙන්ස් පැක්ට්’ වචනය තමයි කියන්නේ. ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න යනවා. දැන් මේක ඉතා ම භයානක දෙයක්. අන්තර්ගතය ගැන කතා කරන්න කලින්, ලංකාවේ පාර්ලිමේන්තුව මේක ගැන දන්නේ නැහැ. ලංකාවේ ජනතාව මේක ගැන දන්නේ නැහැ.”

“සමහර රටවල් සමග අපිට තියෙනවා, යුද අභ්‍යාස ගැන, යුද පුහුණුව ගැන සම්බන්ධතා තියෙනවා. නමුත් ආරක්ෂක ගිවිසුමක්! දැන් ඉන්දියාවේ විදේශ අමාත්‍යංශයේ ඉහළ ම නිලධාරියෙක් පාවිච්චි කරන වචන බොහොම පරිස්සමෙන්.”

“ඉන්දියාව සහ ලංකාව අතර හමුදාව කොච්චර පුහුණු වෙලා තියෙනවා ද ඉන්දියාවේ. ඒ, සම්බන්ධකම් ගැන නෙමේ මේ කතා කරන්නෙ. ඒ ගොල්ලෝ කියනවා පළවෙනි වතාවට ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න යනවා කියලා. ඒක මහා බරපතළ දෙයක්. රටවල් දෙකක් අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා කියන්නේ මහා පරිමාණ දෙයක්. විශේෂයෙන් ම එක රටක් කුඩා රටක් සහ අනෙක් රට මහා දැවැන්ත අර්ධද්වීපයක් වෙනකොට. මේක කොහොමටත් සම මට්ටමේ ගිවිසුමක් වෙන්න බැහැ. ඒක ව්‍යුහාත්මක වශයෙන් සමාන වෙන්න බැහැ. දැන් ලෝකේ කොයි කුඩා රටක්වත් තමන්ගේ අසල්වැසි ලොකු රටකුත් එක්ක ආරක්ෂක ගිවිසුම්වලට යන්නේ නැහැ.”

“ඉන්දියාවේ මහා පඬිවරයා වූ ‍කෞටිල්‍ය හෙවත් චානක්‍ය ‘අර්ථ ශ්‍රාස්ත්‍ර’ නැමති ග්‍රන්ථයේ කියලා තියෙනවා වගේ ඕනෑ ම රාජ්‍යයකට ආරක්ෂක තර්ජනයක් එන්නේ තමන්ගේ අසල්වැසියාගෙන්. කොච්චර මිත්‍රශීලී වුණත්, යම් යම් ප්‍රශ්න එන්න ඉඩකඩ වැඩි යි. ඒ පොදුභාවය නිසා අසල්වැසිභාවය නිසා ම, රාජ්‍යයක ප්‍රධාන මිත්‍රයා විය යුත්තේ අසල්වැසියා නෙමෙයි අසල්වැසියාගෙත් අසල්වැසියා කියලා ‘අර්ථ ශ්‍රාස්ත්‍ර’ ග්‍රන්ථයේ කියලා තියෙනවා.”

“ලෝකේ මොන ම පුංචි රටක්වත් අසල්වැසියා මහා බලවතෙක් නම් නැත්නම් විශාල රටක් නම් එහෙම අත්සන් කරන්නේ නැහැ. ඉතින් ලංකාව වැනි පුංචි දූපතක් ඉන්දියාව වගේ අර්ධද්වීපයක් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා කියලා කියන්නේ මෝඩකමක්. ඒක කවුරුත් නොකරන දෙයක්.”

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ ඉතිහාසයක් තිබිලා තියෙනවා ඒ ඉතිහාසයේ හොඳ දේවල් වගේ ම නරක දේවලුත් තියෙනවා,” ආචාර්ය දයාන් ජයතිලක පැවසීය.

යෝජිත ආරක්ෂක ගිවිසුම පිළිබඳව කිසිදු පාරදෘශ්‍යභාවයක් නැතැයි ද ඔහු පැවසීය.

“මේක කිසි ම පාරදෘශ්‍යභාවයක් නැහැ. දැන් ලංකාව පැත්තෙන් කවුද මේ ආරක්ෂක ගිවිසුමට දායක වුණේ, විශේෂඥයෝ වෙන්න එපායැ, ත්‍රිවිධ හමුදාපතිවරු දන්නව ද මේක ගැන, මේකේ අන්තර්ගතය ගැන දන්නව ද මම දන්නේ නැහැ. එහෙම ආරංචියක් නැහැ. ආරක්ෂක අමාත්‍යංශය දන්නව ද? ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේක දිහා බලලා හා හොඳයි කියලා තියෙනවා ද? ජාතික ආරක්ෂක මණ්ඩලයට මේක සාකච්ඡාවට දාලා තියෙනවා ද? මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැද්ද සියලු පක්ෂවල එකඟත්වයක් ඇති කර ගන්න. හේතුව මුළු රටට ම දීර්ඝ කාලයක් තිස්සේ බලපාන ප්‍රතිවිපාක තියෙන මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න කලින් පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා කරන්න ඕනෙ නේද? දැන් පළවෙනි සැරේට කියලා කියපුවා ම ඒකෙන් අදහස් වෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම පරයමින් යන මට්ටමේ ආරක්ෂක ගිවිසුමක්.”

“දැන් ඊටත් අමතරව තවත් ගිවිසුම් අත්සන් කරන්න යනවා. එක ගිවිසුමක් තමා මන්නාරම සහ තමිල්නාඩුව අතර විදුලි රැහන් සහ ගෑස් පයිප් ලයින් ඇති කරන්න යනවා. ග්‍රිඩ් ඒකාබද්ධතාවක්.”

“දැන් බංගලාදේශය ගන්න, බංගලාදේශයට මාස 4කට අදානි විදුලිය සැපයුවේ නැහැ. අදානි සමාගමට බිල් ඔක්කොම හරියට ගෙවලා නැහැ කියලා, බංගලාදේශයට දෙන විදුලියෙන් හරි අඩයි දුන්නේ. දැන් ඒක හරි ගිහිල්ලා තියනෙවා. දැන් ඒ වගේ ලංකාවේ අපි අපේ විදුලි බලය, ඉන්ධන සම්බන්ධයෙන් අපි අසල්වැසි මහා බලවතාත් එක්ක ගැති සම්බන්ධතාවකට යනවා. රැඳියාවක් ඇති සම්බන්ධතාවකට අපි යනවා. ඇයි අපි එහෙම කරන්නේ, ඕන වෙලාවක ඒක නිවලා දාන්න පුළුවන්. අනිත් එක මේක මන්නාරම සහ තමිල්නාඩුව එක්කරන දෙයක්. තමිල්නාඩුව කියන්නේ ලංකාවට හුඟක් විරුද්ධ විශේෂයෙන් ම ලංකාවේ බහුතර ජනතාවට විරුද්ධව දැඩි වෛරයකින් පෙළෙන පළාතක්. ඒක කියුබාවට විරුද්ධව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය යම් සේ ද ලංකාවට විරුද්ධව තමිල්නාඩුවත් එලෙස ම යි.”

“දැන් ඒ වගේ තත්ත්වයක් යටතේ මුළු ආර්ථිකය ම, මුළු ජන ජීවිතය ම එක ස්විච් එකකින් නවත්තන්න පුළුවන්, වෙන විදිහකින් අපේ ඉන්ධන සහ විදුලි බලය ගැට ගහනවා ඉන්දියාව සහ විශේෂයෙන් ම තමිල්නාඩුවත් එක්ක. කොහෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායකට ජනවරමක් ලැබුණේ?, ඒ වගේ දෙයක් කිව්වේ නැහැ නේ.”

“මේ අත්සන් කරන්න යන සියලු ම ගිවිසුම්වලට විරුද්ධව අනුර කුමාර දිසානායක මහත්මය ම 2023 අගෝස්තු මාසේ 18 විශ්‍රාමලත් හමුදා සාමූහිකය අමතමින් මේ සියලු දේවල්වලට විරුද්ධව කතා කළා. රනිල් වික්‍රමසිංහ මෙහෙම ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. එයා අවබෝධතා ගිවිසුම් වගයකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙව්වා තමා අවබෝධතා ගිවිසුම්, මෙහෙම වුණොත් අපි ඉන්දියාව මත අපිට රැඳී පවතින්න වෙනවා. මෙහෙම වුණොත් අපේ නිදහස නැති වෙනවා, අතපය දිග අරින්න නිදහස නැති වෙනවා කියලා එදා ම කිව්වා. එක ප්‍රසිද්ධ රැස්වීමක් නේ. පැලවත්තේ රහස් සාකච්ඡාවක් නෙමෙයි.”

“ඒ කියන්නේ එදා ජනාධිපතිතුමා තමා විශ්වාස නොකරපු දෙයක් නිකං බොරුවට කිව්වා. එහෙම නැත්තම් අද කරන්නේ තමුන් මාස 20කට කලින් භයානක යි කියපු දෙයක් එලෙස ම සහ ඉන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක කිරීම. මොක ද එතනදී ආරක්ෂක ගිවිසුමක් සඳහන් වෙලා තිබුණෙ නැහැ. දැන් ඉන්දියානු පුවත්පත්වල කියන්නේ, ආරක්ෂක ගිවිසුමක් ගැන කටයුතු කරන්න පටන් ගත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලියට ගිය පළවෙනි වතාවට පස්සේ කියලා. ඉතින් ඒක ගැන කවුරුත් මෙහෙ දැනගෙන හිටියා ද?”

“එහෙම වුණොත් ඒ ආරක්ෂක ගිවිසුමේ මොනවා මොනවා තියෙනවා ද කියලා අපි දැන්නේ නැහැ නේ. ඉන්දීය ප්‍රධාන පුවත් පත් දෙකක තියෙනවා. චීනයට විරුද්ධව ඉන්දියාවේ මූලෝපායික යොමුවේ කොටසක් කියලා මේ ආරක්ෂක ගිවිසුම්. ඉතින් චීනය කියන්නේ ලංකාවට හැම දා ම පිටුබලයක් දුන්නු, අපේ ශක්තිමත් ම, පොහොසත් ම, ප්‍රබලම, අචල ම මිත්‍රයා, ඉතින් අපේ හොඳ ම මිත්‍රයට විරුද්ධව අසල්වැසියාගේ පැත්ත අරගෙන අපි ආරක්ෂක ගිවිසුම් ගහන්න යනකොට අපිව ම නේ අපි දුර්වල කර ගන්නේ. අපි ඇයි ඕකට පැටලෙන්නේ.”

"මගේ සියලු ම අත්දැකීම් අනුව මෙම මේක දකින්නේ 1948 ඉදන් කිසිම ලාංකික නායකයෙක් නොකරපු ආකාරයේ පාවා දීමක් හැටියට මේක සිද්ධ වෙනවා නම්.
ඡායාරූප ශීර්ෂ වැකිය,යෝජිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ, “මගේ සියලු ම අත්දැකීම් අනුව මම මේක දකින්නේ, 1948 ඉඳන් කිසි ම ලාංකික නායකයෙක් නොකරපු ආකාරයේ පාවා දීමක් හැටියට,” යනුවෙනි.

“දැන් ඉන්දියාව කියන්නේ ‘කොඩ්’ එකේ සාමාජිකයෙක්. ‘කොඩ්’ සංවිධානය කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව, ඒක කෙලින් ම චීනය ඉලක්ක කර ගත්තු සන්ධානයක්. දැන් ඊට අමතරව මෝදි අගමැතිතුමා ප්‍රකාශයක් නිකුත් කළා මේ වසර අවසන් වෙන්න කලින් ඇමෙරිකාව එක්ක වසර 10ක ආරක්ෂක ගිවිසුමක් ගහනවා කියලා. දැන් ඇමෙරිකාව පැහැදිලිව කියලා තියෙනවා, කාටවත් රහසක් හැටියට තියා ගන්නේ නැතිව චීනය තමා තමන්ගේ ප්‍රධාන හතුරා කියලා. ඉතින් ලංකාව ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ගහනකොට, ඉන්දියාව දැනටමත් චීන විරෝධී කොඩ් එකේ සාමාජිකයෙක් හැටියට ඉන්න කොට, චීනය තමාගේ ප්‍රධාන හතුරා විදිහට සලකන ඇමෙරිකාවත් එක්ක අවුරුදු 10ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි, ඒකෙන් මොකක් ද වෙන්නේ අපි පැත්තක් ගැනීමක් කරනවා. ඒ ගන්නෙත් අපේ හොඳ ම මිතුරාට විරුද්ධව, ඉතින් අපි මොකට ද කාගේවත් පැත්තක් ගන්නේ, නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා කියන්නේ, ආරක්ෂක හවුල්වල කොටස් කාරයෙක් වෙන්නේ නැහැ කියලා. දැන් අපි එහෙම ආරක්ෂක හවුලක අනියම් කොටස් කාරයෙක් වෙනවා නේ. චීන විරෝධී දම්වැලේ පුරුකක් බවට පත්වෙනවා නේ.”

“ඕනෑ ම රටක් පුංචි රටක් වුණා ම, තමන්ගේ රැඳියාව විවිධාංගිකරණය කරන්න ඕනේ. මේ ආරක්ෂක ගිවිසුමයි, ආර්ථික ගිවිසුම් අත්සන් කළාට පස්සේ කවදා හෝ දවසක තමිල්නාඩුවේ බලපෑම යටතේ ඉන්දියාව හිතාගන්න පුළුවන් අපේ දූපතේ උතුරු නැගෙනහිර අයිති කර ගන්න ඕනේ කියලා. මේක විහිළුවක් නෙමේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමා කියන්නේ ග්‍රීන්ලන්තය අයිති කර ගන්න ඕනේ කියලා, කැනඩාව අයිති කර ගන්න ඕනේ කියලා. ඉතින් දැන් ආරක්ෂක සහ ආර්ථික අන්තර් ව්‍යුහයක් දැනට හදලා දෙන්නේ ඇයි අපි ම? බෙල්ලට තොන්ඩුව දාගන්නවා වගේ වැඩක් නේ මේ ගිවිසුම් අත්සන් කරලා, ඉතින් මේකට මම තරයේ ම විරුද්ධ යි හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් විදිහට.”

“මගේ සියලු ම අත්දැකීම් අනුව මෙම මේක දකින්නේ 1948 ඉඳන් කිසි ම ලාංකික නායකයෙක් නොකරපු ආකාරයේ පාවා දීමක් හැටියට, මේක සිද්ධ වෙනවා නම්. එහෙම නැත්නම් ලංකාවේ විදේශ ඇමති කියන්න ඕනේ නැහැ…නැහැ අපි මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා.”

“ඉන්දු – ලංකා ගිවිසුමටත් වඩා බොහො ම දුරට යන දෙයක්. අවුරුදු 76ක් හිටපු ඔක්කොම කට්ටියට වඩා හොඳ කට්ටියක් කියලා මේ ගොල්ලෝ කියනවා නේ. මේ තමයි රාජ්‍ය ආරක්ෂා කිරීම සහ ජාතික අවශ්‍යතා සම්බන්ධයෙන් දූර්වල ම ආණ්ඩුව. මේක කෙලින් ම රනිල් වික්‍රමසිංහ මහත්තයා යහපාලන ආණ්ඩුව කාලේ ඒ ඉන්දියාවත් එක්ක කතා කර ගත්තු දේවල් ඉන් එහාටත් ගිහිල්ලා, අත්සන් කරනවා. එව්වට එදා විරුද්ධ වෙච්ච අනුර කුමාර දිසානායක.”

ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවාගේ විග්‍රහය

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසන්නේ;

“ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වෙනවා සාම්පූර් බලාගාරය නිල වශයෙන් විවෘත කරන්න, මේ හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්තිය සම්බන්ධයෙන් තියෙන අනෝන්‍ය අවබෝධතාව වඩාත් වර්ධනය වෙන්න හේතු වෙනවා. අනාගතයේදී විශේෂයෙන් ම අදානි ව්‍යාපෘතිය, මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය වගේ බලශක්ති ව්‍යාපෘති ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන තැනක් ගන්නවා වගේ ම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල ප්‍රධාන තැනක් ගනු ලබනවා.”

“මේ සංචාරය තුළින් ඉන්දියාව අදහස් කරනවා තවදුරටත් තමන් ‘Neighborhood first’ විදේශ ප්‍රතිපත්ති මූලධර්මය තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියා කරනවා කියන එක පෙන්වීම තමයි අපිට සඳහන් කරන්න පුළුවන්.”

“කුඩා රාජ්‍යයක් වශයෙන් අපේ ආරක්ෂාව සහ ඉන්දියාවේ ආරක්ෂාව කෙරෙහි අපි කරන බලපෑම ඉතා ප්‍රබල යි. ඒ හින්දා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඉන්දියාවට වැදගත් වෙනවා. එකක් ඉන්දියාව තමන්ගේ තාක්ෂණික හැකියාවන් විදහා පාන්න ගන්නා හොඳ උත්සහයක්. විශේෂයෙන් ම ඉන්දියාව තාක්ෂණික මට්ටම ගැන, IT මාර්කට් එක ඩිවලොප් කරගෙන යනකොට යම්කිසි රටක ඩිජිටල් තාක්ෂණික පද්ධතියක් තිබීම Client portfolio ඒකට ඉතා ම හොඳ දෙයක්.”

“අනෙක් පැත්තෙන් වර්තමානයේ ඇති වෙලා තිබෙන මේ අස්ථාවර ගෝලීය දේශපාලනයත් සමග ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉන්දු – පැසිෆික් කලාපයට ඇති කරලා තියෙන බදු අභියෝගය වගේ ම එම කලාපය තුළ සක්‍රීය ඇමෙරිකානු මැදිහත් වීම ඉවත් කර ගෙන තිබෙනවා. ඉතින් මේ ඇති වෙන ආරක්ෂක හිඩැස පුරවන්න ඉන්දියාව සූදානම් කියන එක තමයි මේ කාලපයට මේ අනුව දැනුම් දෙන්නේ.”

“මං හිතන්නේ මේ සමග ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මොරිෂස් හෝ මාලදිවයින් හෝ කුඩා රාජ්‍යයන් කිහිපයකට මේ හා සමගාමීව සංචාරය කරයි කියලා මොක ද ඒ ආරක්ෂක පරිචය ස්ථාපනය කර ගන්න.”

“මම හිතන්නේ නැහැ චීනය පසුගාමී තැනක ඉන්නවා කියලා හැබැයි චීනය පසුගිය වසර දෙක තුළ ඉතා සක්‍රීය ජාත්‍යන්තර දේශපාලනයක් ලංකාව තුළ කළේ නැහැ. අපි සංසන්දනය කළොත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පාලනයත් එක්ක, නව ජනාධිපතිවරයාගේ කාලය තුළ දෘඩ මැදිහත් වීමක් Hard enforcement එකක් චීනය කළේ නැහැ. ඉතින් මම හිතනවා මේ enforcement නොකරපු හින්දා ඉන්දියාව උත්සහ කරනවා තවදුරටත් ඉන්දියාව ලංකාවට තියෙන බලපෑම් සහගතභාවය වර්ධනය කර ගන්න මේ ඇති වෙලා තියෙන හිඩැස නිසා. බොහෝ විට චීනයෙන් නියෝජ්‍ය මට්ටමේ, දෙවන මට්ටමේ නායකයෙකු ඉදිරි මාස දෙක තුන තුළ ලංකාවේ සංචාරය කර යි. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා හම්බන්තොට වරාය සහ කොළඹ port city එක සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි කර ගැනීමට සහ ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. හැබැයි දැන් චීනය ටිකක් අයින් වෙලා ඉන්නෙ.”

ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවාගේ විග්‍රහය
ඡායාරූප ශීර්ෂ වැකිය,මේ වන විට ජාතික ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසකට ලක්ව ඇතැයි, ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසයි.

“අපි 87 ඉඳල බැලුවා ම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉන්දියාවට විරුද්ධ පක්ෂයක්. ඉන්දියානු ආධිපත්‍යයට විරුද්ධ පක්ෂයක්. අපි මෑතකදි දැක්කා ‘එට්කා’ එක ඊට පස්සේ විවිධ අවස්ථාවලදි ඉන්දියාවට විරුද්ධ වුණා. සාම්පූර් බලාගාරය ගන්නකො, ඒ අවස්ථාවෙදි විරුද්ධ වුණා. නමුත් දැන් වෙනකොට නායකත්වය වෙනස් වෙලා තියෙනවා මේ ටර්නිංග් පොයිට් එක ඇති වන්නේ, 2024 මුල. අනුර කුමාර දිසානායක එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු ඉන්දියාවේ සංචාරයක් කරනවා, ඉන්දීය රජයේ නිල ආරාධනයක් අනුව. ඉන්දියාව දකිනවා, අනුර කුමාර දිසානායක කියන්නේ Potential leader කෙනෙක් ඒ කියන්නේ අනාගත ලංකාවේ නායකයෙක් වීමට හැකියාව තියෙන එක්කෙනෙක් කියන එක. ඒ අනුව ඉන්දියාව ඔහුව ග්‍රහණය කර ගන්නවා. ඒ හා සමානව ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසකට පත් වෙලා තියෙනවා මේ වෙන කොට.”

“මේක සුවිශේෂී තත්ත්වයක්, ප්‍රායෝගික තත්ත්වය සමග අපිට සිද්ධ වෙනවා ඉන්දියාවත් එක්ක සමීපව වැඩ කරන්න. නැතිව ඉන්දියාව අමතක කරලා ඉන්න බැහැ.”

“අපි දීර්ඝ කාලීනව බැලුවොත්, තව අවුරුදු 10කින් 15කින් බැලුවොත් අපි ඉන්දියාව මත අපේ බලශක්තිය මත යැපීමට සිදුවෙනවා. බලශක්තිය කියන්නේ පවර් විතරක් ම නෙමේ, තෙල් IOC ඉන්දියන් ඔයිල් කෝපරේෂන්, බොහෝ වෙලාවට අනෙකුත් ප්‍රභවයන් සම්බන්ධයෙනුත් අපි කියනවා ග්‍රිඩ් එක, අපි කියනවා ප්‍රධාන ග්‍රිඩ් එක ඉන්දියාවට කනෙක්ට් කරන්න. එතකොට බලශක්තිය තමා ඉදිරි දශක තුන තුළ ලෝක දේශපාලනය හැසිරවීමේ අපි කියනවා ස්ප්‍රිං එක කියලා. ඉතින් මෙන්න මේක ඉන්දියාව දැන් ග්‍රහණය කරගෙන ඉවර යි. එතකොට ඒක ඇදලා තමයි අපිව ඉස්සරහටට කන්ට්‍රෝල් කරන්නේ මොක ද කලින් ඉන්දියාව යූස් කළේ ජනවාර්ගික අර්බුදය දැන් ඒක ඉවර යි. නැත්නම් සිංහල දෙමළ භේදය කියන එක යූස් කළා. දැන් අලුත් එක තමා මේ එනර්ජි එක. ඒක සාමාන්‍ය ජනාතාවගේ ජන ජීවිතයට බලපාන දෙයක්.”

විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිඳු පෙර්රාගේ විග්‍රහය

විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිඳු පෙර්රා බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“පහුගිය කාලේ ලංකාවේ ගොඩක් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා, 2019න් පස්සේ ගත්තොත්. 2019 ගෝඨාභය ආවා, 2022 අරගලය සිද්ධ වුණා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ආවා, ඊට පස්සේ ආපු ආණ්ඩුව යටතේදී ගොඩක් පෙරළි වෙලා තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී නව ආණ්ඩුව පැමිණීමත් එක්ක තිබුණු යම් සැකයක් තමයි මේ ආණ්ඩුවේ ඉන්දීය ප්‍රතිපත්තිය මොන වගේ එකක් ද කියන එක. මොක ද ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසිකව ඉන්දීය විරෝධී ස්ථාවරයක හිටපු හින්දා ඉන්දියාව කොහොම ද කළමනාකරණය කර ගන්නේ කියන එක ගැන යම් දෙගිඩියාවක් වගේ එකක් තිබුණා. නමුත් ජනාධිපතිවරයා බලයට ආවට පස්සේ ඉස්සෙල්ල ම ඉන්දීය සංචාරයක යෙදුණා. දැන් මෝදි නැවත පැමිණෙනවා. එතකොට අපිට පේන දේ තමා අර ඉන්දියාවත් එක්ක තිබ්බ සම්බන්ධය එහෙම පළුදුවීමක් සිද්ධ නොවී එක්තරා විදිහක කන්ටිනුවේෂන් එකක් සිදුවන බව තමා පෙනෙන්නේ. ඒ සම්බන්ධව සංකේතාත්මක අවස්ථාවක් විදිහට මෝදිගේ මේ පැමිණීම සලකන්න පුළුවන්.”

“රටවල් අතර ආරක්ෂක ගිවිසුම් ඇති වන එක අලුත් දෙයක් නෙමෙයි. ඒක ඕන තරම් රටවල් අතර ආරක්ෂක ගිවිසුම් ඇති වෙලා තියෙනවා. ඉතින් ඉන්දියාව යි ලංකාව යි ගත්තට පස්සේ සමුද්‍ර තීරය කියන එක වැදගත්. ලංකාවට මත්ද්‍රව්‍ය වගේ දේවල් එන්නේ ප්‍රධාන වශයෙන් සමුද්‍ර තීරයෙන්. එතනදී නාවික හමුදාව සම්බන්ධයෙන් යම් කිසි සහයෝගීතාවක් තියෙන එක, ඊට පස්සේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සහයෝගීතාවක් තියෙන එක, ඒක ලංකාවට වගේ ම ඉන්දියාවට වාසිදායක වෙන්න පුළුවන්. ඒ වගේ සහයෝගීතාවන් ලෝකයේ ඕන තරම් තියෙනවා. ඒක අමුතු දෙයක් නෙමේ. එක ම දේ තමයි ගිවිසුමේ තොරතුරු මොනව ද කියන එක මත තමා ඕක තීරණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ සංකල්පයක් විදිහට ගත්තොත් එනයින් ම ආරක්ෂක ගිවිසුමක් කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒකේ අන්තර්ගතය ලංකාවට අවාසිදායක නම් ඒක ලංකාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් සංකල්පයක් විදිහට ම ආරක්ෂක ගිවිසුමක් කියන එක ගැන එක්තරා විදික බයක් ඇති කරන එක මං හිතන්නේ පදනමක් ඇති දෙයක් නෙමෙයි.”

'ආරක්ෂක ගිවිසුමක් ගැහැවා කියලා මං හිතන්නේ නැහැ ඒක චීනයට ප්‍රශ්නයක් වෙයි කියලා.' විවෘත විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිඳු පෙරේරා පැවසීය
ඡායාරූප ශීර්ෂ වැකිය,’ආරක්ෂක ගිවිසුමක් ගැහුවා කියලා මං හිතන්නේ නැහැ ඒක චීනයට ප්‍රශ්නයක් වෙයි කියලා’ – විවෘත විශ්විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිඳු පෙරේරා

ඉන්දියාව සහ චීනය සමග ශ්‍රී ලංකාව සබඳතා පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිඳු පෙර්රා අදහස් පළ කළේ ය.

“චීනයත් එක්ක ප්‍රධාන වශයෙන් අපේ තියෙන්නේ ආර්ථික ගනුදෙනුවක්. චීනය කියන රට අපිට වැදගත් වන්නේ ආර්ථිකමය පැත්තෙන් හිතලා බලනකොට. ආයතනික පැත්තෙන් වෙන්න පුළුවන් වෙළඳාම පැත්තෙන් වෙන්න පුළුවන්, ඉන්දියාව ගත්තොත් එහෙම නෙම් අපේ ආසන්න අසල්වැසියා. ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධය, චීනයත් එක්ත තියෙන සම්බන්ධයට වැඩිය වෙනස්. ලංකාවට තියෙන චැලෙන්ජ් එක තමයි එක පැත්තකින් ඉන්දියාවත් එක්ක තියෙන ඒ සම්බන්ධය පවත්වාගෙන යන ගමන් ආර්ථිකමය වශයෙන් කොහොම ද චීනය ඇතුළු නැගෙනහිර ආසියා කලාපයේ තියෙන වාසි ලබා ගන්නේ කියන එක තමා අපිට තියෙන අභියෝගය. එතකොට ආරක්ෂක ගිවිසුමක් ගැහුවා කියලා මං හිතන්නේ නැහැ ඒක චීනයට ප්‍රශ්නයක් වෙයි කියලා. මොක ද චීනයට අත්‍යාසන්න භූ දේශපාලන කතන්දරයක් නැහැ නේ ලංකාවත් එක්ක. ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් ඉන්දියාව යම් ප්‍රමාණයකට සැලකිලිමත් වෙනවා මොන තරම් දුරට චීනය දකුණු ආසියානු කලාපයේ භූමිකාවක් රඟ දක්වනවා ද කියන එක ගැන. එතනදි ලංකාවට පුළුවන්කම ලැබෙන්න ඕනේ චීනයත් එක්ක කරන ගනුදෙනුව ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට වෙන්න පුළුවන්, භෞමික අඛණ්ඩතාවට වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නොවන ආකරයට තමන් කළමනාකරණය කර ගන්න බවට යම්කිසි සහතිකයක් එක්ක වැඩ කරන්න.”

ඉන්දියාව සමග අත්සන් කිරීමට යන බලශක්ති සහයෝගීතා ගිවිසුම පිළිබඳව ද ඔහු අදහස් පළ කළේ ය.

“තාම අපිට තොරතුරු නැහැ රනිල් වික්‍රමසිංහගේ ව්‍යාපෘතිය ම ද තියෙන්නේ, නැත්නම් ව්‍යාපෘතියේ අන්තර්ගතය වෙනනස් වෙලා ද කියලා. නමුත් ජාතික ජන බලවේගය විපක්ෂයේ ඉද්දි මතු කළ සමහර කාරණාවල යම් වලංගුතාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මන්නාරමේ ඔය අදානි ව්‍යාපෘතිය ගත්තොත්, ඒක ආර්ථිකමය වශයෙන් ලංකාවට අවාසිදායක යි කියන එක ඒගොල්ලෝ දිගට ම මතුකරපු කාරණයක් නේ. ඒ කාරණයේ යම්කිසි වලංගුතාවක් එතන තියෙනවා. එ හින්දා ඒ විවේචනය සම්පූර්ණයෙන් ම බැහැර කරන්න පුළුවන්කමක් නැහැ. මට හිතෙන්නේ පොදුවේ ඉන්දියාවත් එක්ක කරන ව්‍යාපෘති හොඳ ද නරක ද කියන එක නෙමෙයි අපි හිතන්න ඕනේ. අපිට ඒක කේස් බයි කේස් තමා ගන්න ඕනේ. සමහර ව්‍යාපෘති යෝජනා තියෙන්න පුළුවන් ලංකාවට යම් වාසි ලැබෙන, සමහර නිශ්චිත යෝජනා තියෙන්න පුළුවන් ලංකාවට අවාසිදායක වෙන, ඒ නිසා මං හිතන්නේ, ගන්න ඕන ස්ථාවරය තමයි අර පොදුවේ හැම එකට ම විරුද්ධ වෙන එක හෝ පොදුවේ හැම එකම විවේචනාත්මකව භාර ගන්න එකට වැඩි ය, කේස් බයි කේස් බලලා ලංකාවට ලැබෙන වාසිදායක මොකක් ද කියන එක තක්සේරු කරන එක තමයි ඒවා ගැන ගන්න ඕන ස්ථාවරය.”

“බලශක්තිය සම්බන්ධ කතන්දරය වෙනස්. බලශක්ති සම්බන්ධ කතන්දරයේ තියෙන තර්කය තමයි, ලංකාවේ ඔය දෙසැම්බර් මාසේ වෙන කොට යම් අතිරික්ත බලශක්තියක් තියෙනවා කියන එක. දැන් ඒක අපනයනය කරන්න පුළුවන් අතිරික්තයක් තියෙද්දි. එවගේ ම වහින්නේ නැති, කාලවල යම්කිසි ආකාරයක හිඟයක් තියෙද්දි, අඩු මිලට බලශක්තිය ආනයනය කරන්න පුළුවන් කියන එක, ඕක තමා ආර්ථිකමය වශයෙන් ඉදිරිපත් වන සාධාරණීකරණය. හැබැයි ඕකේ තව දේශපාලන අවදානමකුත් තියෙනවා. දේශපාලන අවදානම තමයි, අනවශ්‍ය විදිහට ඉන්දියාව මත යැපෙන්න ගියොත් බලශක්තිය කියන කාරණයේදී ලංකාව වගේ රටකට බලශක්තිය ස්වාධිපත්‍යය අහිමි වීමේ අවදානමකුත් තියෙනවා. ඒ හින්දා ආණ්ඩුව යම් හෙයකින් එවැනි එකඟතාවකට යනවා නම්, කොහොම ද මේ දෙපැත්ත කළමනාකරණය කර ගන්නෙ කියන එක සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු වෙනවා. අන්තිමට අපිට බලන්න වෙන්නෙ අපි ඒ ඇති කර ගන්න නිශ්චිත ගිවිසුමේ නිශ්චිත එකඟතාවන් එක්ක,”ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පැවසීය.

සම්පත් දිසානායක
BBC News