පාලනයෙන් තොර ලැව්ගිනි ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරෙමින් පවතින අතර, අවම වශයෙන් පුද්ගල මරණ පහක් සිදුව ඇති අතර ගොඩනැගිලි සිය ගණනක් විනාශයට පත් ව තිබේ. ලැව් ගිනි හේතුවෙන් 130,000 කට වැඩි පිරිසකට ඇමෙරිකාවේ දෙවන විශාලතම නගරයේ පිහිටි තම නිවෙස්වලින් පලා යාමටත් පොළඹවා තිබේ.
ගිනි නිවන භටයින්ගේ දැඩි උත්සාහය මධ්‍යයේ, දැවැන්ත ලැව්ගිනි තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වී නැත. පවතින කාලගුණික තත්ත්වය සහ දේශගුණික විපර්යාසවල යටි බලපෑම හේතුවෙන් ඉදිරි දිනවල දී ගින්න අඛණ්ඩව පැතිර යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අලුත්ම තත්ත්වය මොකක් ද?
මේවන විට පුද්ගලයින් 137,000 කට වැඩි පිරිසකට තම නිවෙස් හැර යාමට සිදුව ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ට රැගෙන යා හැකි දෙයක් රැගෙන පලා යමින් සිටිති.
පොලිසිය පවසන්නේ දැනට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව ය. ඔවුන්ගෙන් පිරිසකගේ සිරුරු ඊටන් ගින්න ආසන්නයෙන් සොයා ගත් නමුත් ඔවුන්ගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නැත.
දරුණු පැලසේඩ්ස් ගින්න මෙන්, ඊටන් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර නැත. මේ අතර, ‘සන්සෙට්’ ගින්න සුප්‍රසිද්ධ හොලිවුඩ් හිල්ස් ප්‍රදේශය ද තර්ජනයට ලක්කර තිබේ.
1,000කට වැඩි ගොඩනැගිලි ප්‍රමාණයක් විනාශ වී ඇති බව දන්නා කරුණකි – ඊට සන්සෙට් බුල්වාර්ඩ් හි නිවාස, පාසල් සහ ව්‍යාපාර ඇතුළු ගොඩනැගිලි ඇතුළත් ය. ගිනි පිළිබඳ පරිසර විද්‍යාඥයෙකු බීබීසීයට පවසා ඇත්තේ ” ගින්න සම්පූර්ණ යාබද ප්‍රදේශයම අතුගා දමා ඇති” බවයි.
තම නිවාස අහිමි වූ ප්‍රසිද්ධ සිනමා තරු අතර මීට දින කිහිපයකට පෙර ගෝල්ඩන් ග්ලෝබ්ස් සඳහා සහභාගී වූ ලේටන් මීස්ටර්, ඇඩම් බ්‍රෝඩි සහ පැරිස් හිල්ටන් ද වේ.
දකුණු කැලිෆෝනියාවේ ලැව්ගිනි කාලගුණ අනාවැකිය අනුව “අතිශයින්ම බරපතල” තත්ත්වයේ සිට “බරපතල” තත්ත්වය දක්වා පහත වැටි ඇති බැවින්, ගිනි නිවන භටයින්ට යම් බලාපොරොත්තුවක් ලැබී තිබේ.
නමුත් බීබීසී කාලගුණ අනාවැකිකරු සාරා කීත්-ලූකස් පවසන්නේ අවම වශයෙන් ඉදිරි සතිය සඳහා ප්‍රදේශයට වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කළ නොහැකි බවය.එයින් අදහස් වන්නේ ගින්න පැතිරීමට සුදුසු වාතාවරණයක් පැවතිය හැකි බව ය.
රථවාහන තදබදය හේතුවෙන් විශාල අවහිරතාවයන් වාර්තා වී තිබේ. පාසල් ගණනාවක් සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය, ලොස් ඇන්ජලීස් (UCLA) වසා දැමීමට සිදුව ඇත.
සමහර ගිනි නිවන භටයින්ගේ ජලපොම්ප සිඳී ගොස් ඇති බව පෙනී යාමෙන් පසු නගරයේ ලැව්ගිනි පිළිබඳ සූදානම පිළිබඳ දේශපාලන අර්බුද නිර්මාණ ඇති වී තිබේ. එය එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අල්ලා ගන්නා ලද ප්රශ්නයකි.
ලැව්ගිනි පවතින්නේ කොහේද?
කැලිෆෝනියා ගිනි නිවන නිලධාරීන්ට අනුව, බ්‍රහස්පතින්දා අලුයම වන විට පුළුල් ප්‍රදේශයක් පුරා අවම වශයෙන් ලැව් ගිනි පහක් හෝ ඇතිව තිබේ.
පැලිසෙඩ්ස් : පළමු ගින්න අඟහරුවාදා වාර්තා වූ අතර එය කලාපයේ විශාලතම ගින්න වන අතර ප්‍රාන්ත ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ගින්න බවට පත්විය හැකිය. එය පැසිෆික් පැලිසේඩ්ස්හි යාබද ප්‍රදේශය ඇතුළුව අක්කර 17,200 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් පැතිර ගොස් තිබේ.
ඊටන්: එය ඇල්ටඩෙනා වැනි නගර හරහා ලොස් ඇන්ජලීස් හි උතුරු කොටසේ පැතිර ඇත. එය අක්කර 10,600ක් පමණ ගිනිගෙන විනාශ වූ ප්‍රදේශයේ දෙවැනි විශාලතම ගින්නයි.
හර්ස්ට්: සැන් ෆර්නෑන්ඩෝ ප්‍රදේශයට උතුරින් අඟහරුවාදා රාත්‍රියේ ගින්න ආරම්භ වූ අතර එය අක්කර 855 දක්වා වර්ධනය වී ඇත. නමුත් ගිනි නිවන භටයින්ට එය සීමා කිරීමට හැකි වී තිබේ.
ලිඩියා: එය ලොස් ඇන්ජලීස් වලට උතුරින් පිහිටි කඳුකර ඇක්ටන් ප්‍රදේශයේ බදාදා දහවල් ඇතිවූයේ අක්කර 350 කට ආසන්න ප්‍රදේශයක් දක්වා පැතිර යමිනි. බලධාරීන් පවසන්නේ එය 40% ක් පාලනය කර ඇති බව ය.
සන්සෙට්: ගින්න බදාදා සවස හොලිවුඩ් හිල්ස් හි ඇතිවූ අතර පැයකට අඩු කාලයකදී අක්කර 20 ක් දක්වා වර්ධනය විය. දැන් එය අක්කර 43 කට අධික භූමි ප්‍රදේශයක් පුරා පැතිර යමින් තිබේ.
ප්‍රාදේශීය ගිනි නිවන බලධාරීන්ට අනුව වුඩ්ලි සහ ඔලිවාස් හි මීට පෙර ඇතිවු ලැව්ගිනි දැන් මැඩපවත්වා තිබේ.
ලොස් ඇන්ජලීස් ගිනි ආරම්භ වූයේ කෙසේ ද?
ප්‍රදේශයේ පවතින අධික සුළං සහ නියඟය නිසා ගහකොළ දැඩි ලෙස වියළි ගොස් ඇති අතර පහසුවෙන් පිළිස්සීමට ඉඩ ඇති බව නිලධාරීන් පෙන්වා දී ඇත.
ගින්න දේශගුණික විපර්යාසවල බලපෑම නිසා සිදූ වූ බවට ප්‍රකාශ වුවත් – නිශ්චිත තත්ත්වය තවමත් අපැහැදිලි ය.
කැලිෆෝනියා ගිනි නිවීමේ සේවා බලඇණි ප්‍රධානි ඩේවිඩ් අකුනා පවසන පරිදි ප්‍රදේශයේ ලැව්ගිනිවලින් 95% ක් පමණ මිනිසුන් විසින් ආරම්භ කරනු ලැබුවද, වර්තමාන ලැව්ගිනි ඇති වූයේ කෙසේදැයි නිලධාරීන් තවමත් ප්‍රකාශ කර නොමැත.
ලැව්ගිනි පැතිරීම සඳහා ඇති වැදගත් සාධකයක් වන්නේ රට අභ්‍යන්තරයේ සිට වෙරළ දෙසට හමන සැන්ටා ඇනා සුළං ය. පැයට සැතපුම් 60 (පැයට කි.මී. 97) ට වඩා වැඩි වේගයකින් හමා යන එම සුළං ගිනිදැල් අවුළුවාලන්නට ඇතැයි විශ්වාස කෙරේ.
දේශගුණික විපර්යාස කළ කාර්යභාරය කුමක් ද?
තද සුළං සහ වර්ෂාව අඩුකම ලැව් ගිනි ඇති කිරීමට හේතු වුවද, විශේෂඥයින් පවසන්නේ දේශගුණික විපර්යාස පසුබිම් තත්ත්වයන් වෙනස් කරමින් ගිනි ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන බවයි.
එක්සත් ජනපද රජයේ පර්යේෂණ මගින්, බටහිර එක්සත් ජනපදයේ විශාල හා වඩා දරුණු ලැව්ගිනි නිසැක ලෙසම දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ කර තිබේ.
“ඉහළ යන උණුසම, දීර්ඝ නියඟය සහ පිපාසයෙන් පිරුණු වායුගෝලය වැනි දේශගුණික විපර්යාස, බටහිර එක්සත් ජනපදයේ ලැව්ගිනි ඇතිවීමේ අවදානම සහ තිව්රතාව වැඩි කිරීමේ ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා,” ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) පවසයි.
මෑත මාසවල ඉතා උණුසුම් ගිම්හානය සහ වර්ෂාව නොමැතිකම හේතුවෙන් කැලිෆෝනියාව විශේෂයෙන් අවදානමට ලක්ව තිබේ.
දකුණු කැලිෆෝනියාවේ ලැව්ගිනි සමය සාමාන්‍යයෙන් මැයි සිට ඔක්තෝබර් දක්වා පවතී යැයි සැලකේ – නමුත් ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් මීට පෙර පෙන්වා දී ඇත්තේ ගිනි ගැනීම් අඛණ්ඩව සිදුවන ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි. “ගිනි සමයක් කියලා එකක් නැහැ,” ඔහු පැවසීය. “මේක ගිනි වසරක්.”
බීබීසී වෙත අදහස් දක්වමින් අකුනා පැවසුවේ පැලිසෙඩ්ස් ගින්න පසුගිය වසර 30 තුළ ජනවාරි මාසයේදී විශාල ගින්නක් හටගත් තුන්වන අවස්ථාව බවයි.