සුරා බදු බලපත්‍ර ගැන ජනපති අනුර සහ සුරාබදු දෙපාර්ථමේන්තුවේ ඉහල නිලධාරීන් සාකච්චාවක

0
සුරා බදු බලපත්‍ර

සුරා බදු බලපත්‍ර ලබා දීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (දෙසැ. 5) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නිලධාරීන් තම බලය භාවිත කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බව ත් සෑම විට ම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ත් ජනාධිපතිවරයා පැවසීය.

නිසි වේලාවට බදු අය කර ගැනීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

සුරාබදු අය කර ගැනීමේ අපහසුතා සහ එහිදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර අයවිය යුතු බදු ප්‍රමාණය අය කර ගැනීම, අසාදුගත ආයතන මෙන් ම බදු අය කර ගත නොහැකි ආයතනවල බලපත්‍ර තහනම් කිරිම වැනි නව ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එසේ ම, බදු අය කර ගැනීමේදී පවතින නීතිරීති ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර බදු අය කර ගැනීමේදී මතුව ඇති ගැටලු සහ සුරා බදු නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

සුරා බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බව ජනාධිපතිවරයා පැවසීය.

එසේ ම, නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලියෙහි මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර කෘත්‍රීම රා හේතුවෙන් ජනතාවට සිදු වන හානිය සම්බන්ධව ද අවධානය යොමු කෙරිණි.