දකුණු කොරියා පුරවැසියන් කම්පනයට පත් කළ යුද්ධ නීතිය

0
දකුණු කොරියා

“රාජ්‍ය විරෝධී බලවේග” සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන උපුටා දක්වමින් දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් අඟහරුවාදා අග භාගයේදී රට කම්පනයට පත් කළේ යුද්ධ නීතිය – වසර 50කට පමණ පසු පළමු වතාවට – ප්‍රකාශ කිරීමෙන් පසුව ය.

කෙසේ වෙතත්, මෙම පියවර දේශපාලනිකව අභිප්‍රේරණය වූවක් ලෙස පෙනුණු අතර, මහජන විරෝධතා සහ හදිසි පාර්ලිමේන්තු ඡන්දයක් ඇති කරමින් පැය කිහිපයක් ඇතුළත එම පියවර අවලංගු කරන ලදී.

පරාජය වූ යූන් පාර්ලිමේන්තුවේ තීරණය පිළිගෙන යුද නීතිය අවලංගු කළේ ය. මේ අතර, “කැරලිකාරී හැසිරීම්” සම්බන්ධයෙන් ඔහුට චෝදනා කරමින් ඔහුගේ දෝෂාභියෝගයට ඡන්දය දීමට නීති සම්පාදකයෝ සූදානම් වෙති.

අනතුරුව ජනාධිපතිවරයාගේ ක්‍රියාවට එරෙහිව දහස් ගණනක් රට පුරා විරෝධතා දැක්වූ අතර, ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කළහ.

ඊට අමතරව, ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන්, හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් “සම්පූර්ණ වගකීම” භාර ගනිමින් ඉල්ලා අස් වූ අතර, “ව්‍යාකූලත්වය සහ කරදර ඇති කිරීම” සම්බන්ධයෙන් මහ ජනතාවගෙන් සමාව අයැද සිටියේ ය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා කවුද?

South Korean President Yoon Suk Yeol
ඡායාරූප ශීර්ෂ වැකිය,දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අඟහරුවාදා ජාතිය අමතමින් යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කළ අවස්ථාව.

1980 ගණන්වල රට නිදහස් ජනාධිපතිවරණයක් පැවැත්වීමට පටන් ගත් දා සිට ආසන්නතම ජනාධිපතිවරණයෙන් 2022 දී ඔහු ජනාධිපති ධුරයට පත් වන විට යූන් දේශපාලනයට සාපේක්ෂව නවකයෙකි.

ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර, 63 හැවිරිදි ඔහු උතුරු කොරියාව සම්බන්ධයෙන් වඩාත් දැඩි ප්‍රවේශයක් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බෙදීම වෙනුවෙන් පෙනී සිටියේ ය. කාර්යාලයේදී, ඔහු ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ, ඔහුගේ අනුමැතිය ශ්‍රේණිගත කිරීම පහත හෙලීමට සහ ඔහුගේ ආණ්ඩුවේ බලය පිළිබඳ ග්‍රහණය දුර්වල කිරීමට හේතු වූ ඝෝෂා සහ දේශපාලන අපකීර්ති මාලාවක් සම්බන්ධයෙනි. – ඊයේ රාත්‍රියේ නාට්‍යමය දර්ශනවලින් අවසන් විය.

BBC සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, හිටපු විදේශ ඇමති කැං ක්‍යුං වා කියා සිටියේ, යොන්ගේ තීරණයෙන් පෙන්නුම් කරන්නේ ඔහු “මේ අවස්ථාවේදී රට අත්විඳින දේ පිළිබඳ යථාර්ථයෙන් සම්පූර්ණයෙන් ම ඈත් වී ඇති,” බවයි.

ඊළඟට කුමක් සිදුවේ ද, කැං පවසන පරිදි, සම්පූර්ණයෙන් ම යූන් විසින් ම තීරණය කරනු ලබ යි. “බෝලය ජනාධිපතිවරයාගේ පිටියේ ඇත්තේ ඔහු විසින් ම දමා ඇති මෙම කොනෙන් ගැලවීමට මගක් සෙවීමට යි.”

යූන්ට යම් සහයෝගයක් තිබේ. ආණ්ඩු පක්ෂයේ අන්ත දක්ෂිණාංශික ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහය පළ කර ඇත.

ඔවුන් අතර හිටපු අගමැතිවරයෙකු වන හ්වැං ක්යෝ-ආන්, ජාතික සභාවේ කතානායක වූ වොන් ෂික් සහ යූන්ගේ පක්ෂයේ නායක හැන් ඩොං- අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සමාජ මාධ්‍යවල අදහස් පළ කළ පිරිස ජනාධිපතිගේ ක්‍රියාමාර්ගවලට බාධා කරන බවට චෝදනා කරති.

“මෙවර උතුරු කොරියාවට පක්ෂපාතී කණ්ඩායම් ඉවත් කළ යුතු” බව හ්වැං වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර, පරීක්ෂණ සහ සියලු හදිසි බලතල භාවිත කරන ලෙස ඉල්ලා, දැඩි ලෙස ප්‍රතිචාර දක්වන ලෙස යූන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ජනාධිපති යූන්ට දෝෂාභියෝගයක් ගෙන එයි ද?

Aerial view shows lawmakers seated in voting chamber at National Assembly voting to block President Yoon's call for martial law
ඡායාරූප ශීර්ෂ වැකිය,යූන්ට එරෙහි දෝෂාභියෝගය සඳහා දකුණු කොරියා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසනු ඇත.

දැන්, සියලු දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ, යූන් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නේ ද යන්න පිළිබඳව ය. නමුත් ඔහු එවැන්නකට මුහුණ දෙන දකුණු කොරියාවේ පළමු ජනාධිපතිවරයා නොවේ.

ඔහුට දෝෂාභියෝගයක් ගෙන ඒමේ යෝජනාවක් විපක්ෂයේ පක්ෂ හයක් විසින් ගොනු කර ඇති අතර, පැය 72ක් ඇතුළත ඊට අදාළව ඡන්දය ප්‍රකාශ කළ යුතු ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසැම්බර් 6 සිකුරාදා හෝ දෙසැම්බර් 7 සෙනසුරාදා රැස්වනු ඇත.

යෝජනාව සම්මත වීමට මන්ත්‍රීවරුන් 300කින් යුත් ජාතික සභාවෙන් තුනෙන් දෙකක් – එනම් ඡන්ද 200ක් – අවශ්‍ය වේ. විරුද්ධ පක්ෂයට තනිව ම ඡන්ද ප්‍රමාණවත් තරම් ඇති අතර යූන්ගේ ම පක්ෂය ඔහුගේ ක්‍රියා විවේචනය කර ඇති නමුත් තවමත් එහි ස්ථාවරය තීරණය කර නොමැත. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් මෙම යෝජනාවට සහය පළ කළහොත් එය සාර්ථක විය හැකි ය.

පාර්ලිමේන්තුව යෝජනාව අනුමත කළහොත්, යූන්ගේ බලතල වහා ම අත්හිටුවනු ඇති අතර, අගමැති හැන් ඩක්-සූ වැඩ බලන ජනාධිපති බවට පත් වනු ඇත.

දකුණු කොරියාවේ ආණ්ඩුවේ ශාඛා අධීක්‍ෂණය කරන සාමාජිකයින් 9 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයක් වන ව්‍යවස්ථා අධිකරණයට එවිට අවසාන ප්‍රකාශය සිදු කරනු ඇත: එය දෝෂාභියෝගය අනුමත කරන්නේ නම්, යූන් ඉවත් කරනු ඇති අතර දින 60ක් ඇතුළත නව මැතිවරණයක් පැවැත්විය යුතු ය. ප්‍රතික්ෂේප කළහොත් යූන් තනතුරේ රැඳී සිටිනු ඇත.

එය 2016 ජනාධිපති පාර්ක් ගුන්-හයි නෙරපා හැරීම ඉන් ආවර්ජනය වෙයි. එහිදී යූන් පැමිණිල්ලේ දූෂණ නඩුවට නායකත්වය දීමෙන් ප්‍රධාන විය. වසර 4 යි මාස 9ක සිරදඬුවම් විඳීමෙන් පසු පාක් 2022 දී නිදහස් විය.

2004 දී පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසු ජනාධිපති රෝ මූ-හ්‍යුන් ද ඉවත් කිරීම යන්තමින් මග හැරිණි.

දකුණු කොරියාවේ මීට පෙර යුද්ධ නීතිය පනවා තිබේ ද?

Lawmakers stand in four rows holding red ad white placards reading "Yoon Suk Yeol should resign!" during a rally against President Yoon Suk Yeol at the National Assembly in Seoul on December 4, 2024, after martial law was lifted in South Korea.

යූන්ගේ යුද්ධ නීතිය ප්‍රකාශ කිරීම වසර 45කට පසු දකුණු කොරියාවේ එවැනි ක්‍රියාවක පළමු පියවර සනිටුහන් කළ අතර, මෙම හදිසි පියවර වැරදි ලෙස භාවිත කිරීමේ රටේ ඉතිහාසයෙන් පැරණි තුවාල නැවත පෑරී ය.

ජාතික හදිසි අවස්ථා ස්ථාවර කිරීම සඳහා මුලින් අදහස් කරන ලද, යුද නීතිය බොහෝ විට විවේචනයට ලක්ව ඇත්තේ විසම්මුතිය යටපත් කිරීම, බලය පවත්වා ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කිරීමේ මෙවලමක් ලෙස ය.

1948 දී, ජනාධිපති සින්ග්මන් රී, බොහෝ සිවිල් වැසියන්ගේ මරණයට හේතු වූ ජෙජු නැගිටීම මර්දනය කිරීමට එරෙහි කැරැල්ලක් පාලනය කිරීම සඳහා යුද නීතිය ප්‍රකාශයට පත් කළේ ය.

1960 දී, අප්‍රේල් විප්ලවය අතරතුරදී යුද නීතිය වැරදි ලෙස භාවිත කරන ලදී, මැතිවරණ වංචාවට එරෙහි රැලියක් අතරතුරදී පොලිසිය විසින් උසස් පාසැල් සිසුවෙකු ඝාතනය කරනු ලැබීමෙන් පසු රීගේ පරිපාලනයට එරෙහි විරෝධතා උත්සන්න විය.

ජනාධිපති පාර්ක් චුන්ග්-හී ද ඔහුගේ පාලන තන්ත්‍රයට එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා නිතර යුද නීතිය පැනවූ අතර, ඔහුගේ ඝාතනයෙන් පසු දින 440ක යුද්ධ නීතිය, ජනාධිපති චුන් ඩූ-හ්වාන් යටතේ ග්වංජු සංහාරය දක්වා ක්‍රියාත්මක වීමෙන් පසු අවසන් විය.

මෙම සිදුවීම් දකුණු කොරියානුවන්ට කම්පනසහගත මතකයන් ඉතිරි කළේ ය. මහජන ආරක්ෂාව සඳහා වූ පියවරක් වෙනුවට දේශපාලන බලය සඳහා මෙවලමක් සමග යුද නීතිය සම්බන්ධ කළේ ය.

1987 සිට, දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යුද නීතිය ප්‍රකාශ කිරීම සඳහා කොන්දේසි දැඩි කර ඇත. එය දීර්ඝ කිරීම හෝ ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වේ.

දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් ස්ථාවර ද?

The leader of a key opposition party, the Democratic Party, stands with several other lawmakers while addressing media after parliament voted down martial law on Wednesday morning
ඡායාරූප ශීර්ෂ වැකිය,ප්‍රධාන විරුද්ධ පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂයේ නායක, බදාදා උදෑසන යුධ නීතිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මාධ්‍ය අමතමින්

යූන්ගේ හදිසි ක්‍රියාව රට මවිතයට පත් කළේ ය – එරට ඒකාධිපති ඉතිහාසයක සිට බොහෝ දුරට පැමිණ ඇති සමෘද්ධිමත්, නවීන ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන බවට සැලකෙන රටකි.

දශක ගණනාවකට පසු එම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට එල්ල වූ ලොකු ම අභියෝගය ලෙස බොහෝ දෙනෙක් මේ සතියේ සිදුවීම් දකිති.

විශේෂඥයන් තර්ක කරන්නේ, එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දකුණු කොරියාවේ කීර්ති නාමයට එක්සත් ජනපදයේ ජනවාරි 6 කැරැල්ලෙන් ඇති වූ හානියට වඩා හානියක් විය හැකි බව ය.

“යූන්ගේ යුධ නීතිය ප්‍රකාශ කිරීම නීත්‍යනුකූල සීමා ඉක්මවා යාමක් සහ දේශපාලන වැරදි ගණනය කිරීමක් ලෙස පෙනී ගියා. ඒක දකුණු කොරියාවේ ආර්ථිකය සහ ආරක්ෂාව අනවශ්‍ය ලෙස අවදානමට ලක් කරයි” යනුවෙන් සෝල්හි එව්හා විශ්වවිද්‍යාලයේ විශේෂඥයෙකු වන ලීෆ්-එරික් ඊස්ලි පැවසීය.

“ඔහු වටලනු ලැබූ දේශපාලකයෙකු මෙන්, වැඩෙන කෝපය, ආයතනික බාධා කිරීම් සහ දෝෂාභියෝගය සඳහා වන ඉල්ලීම්වලට එරෙහිව මංමුලාසහගත පියවරක් ගනිමින් සිටියා. ඒ සියල්ල දැන් තීව්‍ර වීමට ඉඩ තියෙනවා.”

නමුත් සෝල්හි එක රැයකින් අවුල්සහගත තත්ත්වයක් තිබියදීත්, දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථිරව පැවති බව පෙනේ. හිටපු විදේශ අමාත්‍යවරිය වන කැං බීබීසීයට පැවසුවේ, ආතතීන් ලිහිල් වන බවක් පෙනෙන්නට තිබීමෙන් තමාට “විශාල සහනයක්” ඇති බව ය.

“රාත්‍රිය පුරා පැය ගණනාවක් තිස්සේ ජාතික සභාව තම කාර්යභාරය ඉටු කිරීම සහ පුරවැසියන් වීදි බැස මෙය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටීම – අවසානයේ මට පැවසිය යුතු යි., එය මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බව පෙන්නුම් කළේ ය.”

උතුරු කොරියාවේ ප්‍රතිචාරය කුමක් ද?

North Korean leader Kim Jong Un, dressed in an all-black outfit, attends a joint press conference with Russian President Vladimir Putin following bilateral talks at the Kumsusan State Residence in Pyongyang, North Korea.

යූන් සිය ප්‍රකාශයේ උතුරු කොරියාව ඉලක්ක කර ගනිමින් කියා සිටියේ, “උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගවල තර්ජනයෙන් නිදහස් කොරියානු ජනරජය ආරක්ෂා කිරීම” සහ “නිදහස සහ සතුට කොල්ල කන නින්දිත උතුරු කොරියානු ගැති රාජ්‍ය විරෝධී බලවේග මුලිනුපුටා දැමීම” සිය අරමුණ බව ය. ්‍

මෙවැනි ප්‍රකාශවලට සාමාන්‍යයෙන් උතුරෙන් ප්‍රතිචාරයක් ලැබෙන නමුත් රටේ රාජ්‍ය මාධ්‍යවලින් කිසිදු ප්‍රතිචාරයක් නොමැත.

දකුණු කොරියාවේ හමුදා විධානය බදාදා අලුයම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, යූන්ගේ යුධ නීති නියෝගය විසුරුවා හැර ඇති බවත් “උතුරු කොරියාවෙන් අසාමාන්‍ය ක්‍රියාකාරකම් කිසිවක් සිදු නොවූ” බවත් ය.

යොන්හැප් පුවත් ඒජන්සියට අනුව, “උතුරට එරෙහි ආරක්ෂක ඉරියව්ව ස්ථාවරව පවතී,” ප්‍රකාශය දිගට ම පැවතිණි.

විශේෂඥයන් පවසන්නේ, යූන් උතුරු කොරියානු තර්ජන ගැන සඳහන් කළේ ඇයි ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් උතුර සහ දකුණ අතර දැනටමත් නැගෙන ආතතීන්ට එය ධනාත්මක බලපෑමක් ඇති නොකරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන බවයි.

සෝල්හි කුක්මින් විශ්වවිද්‍යාලයේ උතුරු කොරියානු දේශපාලනය ගැන පර්යේෂණ කරන ෆෙඩෝර් ටර්ටිට්ස්කි විශ්වාස කරන්නේ, “මෙම අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමට උතුරු කොරියානුවන්ට සැබවින් ම ක්‍රමයක් නොතිබූ” බව ය.

“සියල්ල ඉතා ඉක්මනින් දිග හැරුණා; ඒක පැවතියේ පැය කිහිපයක් පමණයි,” ඔහු බීබීසීයට පැවසීය.

BBC News