නිල නිවෙසක් හා වාහනයක් ඉල්ලුවේයැයි පලවන ප්‍රවෘත්තිය සාවද්‍යයි – ඇමති සරෝජා

0
නිල නිවෙසක් හා වාහනයක්

තමන් නිල නිවෙසක් හා වාහනයක් ඉල්ලුවේයැයි පලවන ප්‍රවෘත්තිය සාවද්‍ය බවත් කිසිදු මාධ්‍යයකට තමා එවැනි ප්‍රකාශයක් ලබා නොදුන් බවත් තමා සම්බන්ධයෙන් ප්‍රචාරය වන එම ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිබඳ සයිබර් අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද ලිඛිතව දැනුම් දුන් බවත් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පැවැසුවාය.

වෙබ් අඩවියක සහ එය උපුටා ගත් වෙනත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ප්‍රවෘත්තිය පිළිබඳ සිදුකළ විමසීමේ දී අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ තමාට දරුවන් තිදෙනෙකු නොමැති බවත් තම මුහුණු පොතට ඇතුළු වී දරුවන්ගේ ඡායාරූප හොරට ගෙන භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවත්ය.

එමෙන්ම තමන් ජීවත් වන්නේ මාතර නිවසේ බව හා ගමන් බිමන් යාම සඳහා තමා භාවිත කරන්නේ තම වෛද්‍ය සැමියාගේ මෝටර් රථය වන අතර පක්ෂ දේශපාලන කටයුතු සඳහා පක්ෂයෙන් ලබා දෙන වාහනයකින් ගියද අනෙකුත් ගමන් බිමන් සඳහා බස් රථය හා දුම්රිය යොදා ගන්නා බවද අමාත්‍යවරිය පැවසුවාය.

මැති ඇමැතිවරුන් සඳහා නිවාස හෝ රථ වාහන ලබාදීම සම්බන්ධ තීන්දු තීරණ ගැනීම හා ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග පක්ෂය මගින් සිදු කරන බැවින් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්ව සිටින ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රිවරයකු හෝ අමාත්‍යවරයකු නිවාස හෝ නිල වාහන සම්බන්ධයෙන් තමා දන්නා තරමින් කිසිදු ඉල්ලීමක් සිදු නොකර ඇති බවත් ඇමැතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් වැඩි දුරටත් පැවසුවාය.