අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට

0
අරුණ දර්ශන

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා අතරට යාමට අරුණට හැකිවිය.

අරුණ සහභාගි වූ තරගය මෙරට වේලාවෙන් 04 දා රාත්‍රී 11.05ට පමණ පැවැත්විණි.

මූලික වටයේ තරග (Heats) 06කින් සමන්විත වූ මෙම තරග ඉසව්වේ 05වැනි මූලික තරගයට අරුණ සහභාගි විය.

එහිදී ඔහු තත්. 44.99කින් තරගය අවසන් කර තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර, මෙය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද විය.

මීට පෙර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වූයේ තත්. 45.30කි.

ඒ අනුව සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තරග 45 සීමාවෙන් අවසන් කළ පළමු ක්‍රීඩකයා ලෙසින් තවත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමටද අරුණට හැකිවිය.

අරුණට මෙවර ඔලිම්පික් වරම් හිමිවූයේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයේ පසුවූ ක්‍රීඩකයෙකු ලෙසිනි.

කෙසේ නමුත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකිවන්නේ ක්‍රීඩකයන් 16 දෙනෙකුට පමණි.