යුරෝපීයයන් නැව්නැගී පෙරදිගට යාත්‍රා කර සිය බල පරාක්‍රමය ලොව පුරා පැතිර වූ ක්රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රී ලංකාවටත් බටහිර ජාතීන්ගේ බලපෑමට යටත්වන්නට සිදු විය.
පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මේදා විසින් ශ්‍රී ලංකාවට ගොඩබැසීමෙන් පසුව පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ අත්පත් කරගත් අතර, ඔවුන්ගේ බලය රැකගැනීම උදෙසා තීරණාත්මක මුහුදුබඩ ප්‍රදේශවල බලකොටු ගොඩනැගීමේ පුරෝගාමී කටයුත්ත ද සිදු කරන ලදි.
පෘතුගීසි පාලනයෙන් හෙම්බත්ව සිටි ලක් වැසියන් “ඉඟුරු දී මිරිස් ගත්තා සේ” පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහය ලබා ගැනීමෙන් පසුව ලන්දේසීන් එම බලකොටු අත්පත් කර ගත් අතර වත්මනේ අප දකින බොහෝ බලකොටුවල නටඹුන් ලන්දේසීන් විසින් වැඩිදියුණු කරන ලදුව 1796 දී ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගත් ඒවා යි.
සියවසකටත් වඩා වැඩි කාලයක් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගෙන සිටි ලන්දේසීන්, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) හරහා පවත්වාගෙන ගිය බලකොටු සිය ඉතාලි ආභාසය සහිත ගෘහ නිර්මාණශිල්පයන් සහිතව සුන්දර ලෙස ඉදි කර තිබේ.
නාවික ගමනාගමනයට වැදගත් සංධිස්ථානයක් වූ පෝක් සමුද්‍ර සන්ධියට ආසන්න උතුරු පළාතේ ආරක්ෂක කටයුතු සඳහා වැදගත් බලකොටු කිහිපයක්ම පවත්වාගෙන යාමට ඔවුහු අමතක නොකළ හ.
පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි යන මෙම පාලන යුග තුනෙහිදී ම මේ උතුරේ බලකොටු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලදි. උතුරු පළාතේ එවැනි ප්‍රධාන බලකොටු කිහිපයක් ම පිහිටා තිබේ.
නිලට මැදි වූ සොඳුරු පංචාස්‍ර බලකොටුව – යාපනය
යාපනය නගරයේ එක් කෙළවරක නිල්පැහැ මුහුදටත්, නිල් පැහැ අහසටත් මායිම් ව පිහිටා ඇති යාපනය බලකොටුව මුලින් ම ඉදි කරන්නේ 1618 දී පමණ පෘතුගීසීන් විසින් ය. යාපනය නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳම ස්ථානක් වීමත් ගොඩබිමින් හා මුහුදෙන් පහසුවෙන් පාලන කටයුතු මෙහෙයවීමට හැකි වීමත් නිසා පෘතුගීසීන් මෙම ස්ථානයේ බලකොටුවක් ඉදි කිරීමට තෝරාගෙන තිබේ.
දෙසැම්බර් මාසයේ දිනක අප එහි සංචාරය කරන විට උත්සව සමය හේතුවෙන් විශාල පිරිසක් බලකොටුව නැරඹීමට පැමිණ සිටිය හ. බලකොටුවට ඇතුළුවීමට නම් ඔබ පළමුව ටිකට් පතක් මිලට ගත යුතු අතර ටිකට් පතේ මිල ගණන් දේශීය සංචාකයන්ට රුපියල් පනහකි. විදෙස් සංචාරකයන් හට ඊට වඩා වැඩි මුදලක් ගෙවා ප්‍රවේශපතක් මිලට ගැනීමට සිදු වේ. දැවැන්ත දිය අඟලකින් වට වූ මෙම පංචාස්‍ර හැඩැති බලකොටුව අක්කර ගණනාවක් පුරා පැතිරී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති බලකොටුවේ කෞතුක භාණ්ඩ ද ප්‍රදර්ශනය කර තිබේ.
පෘතුගීසීන් ඉදි කළ මුල් ගොඩනැගිලි ස්වරූපය වෙනස් කර ලන්දේසීන් විසින් මෙම බලකොටුව අලංකාර පංචාස්‍ර හැඩයකයට ඉදි කර ඇති අතර ඔවුන්ට එය වටා ඇති දැවැන්ත දිය අඟල ඉදිකිරීමට දශක ගණනාවක් ගත වී තිබේ. නමුත් එහි වැඩකටයුතු අවසන් වී වැඩිකල් නොගොස් ඉංග්‍රීසීන් විසින් බලකොටුව අත්පත්කරගන්නා ලදි.
බලකොටුවේ ප්‍රාකාරය වටා ඇවිද යාමට හැකි අතර ඉහළ සිට යාපනය නගරය විවිධ කෝණවලින් නිරීක්ෂණය කිරීමට හැකිය. එක් පසෙකින් කයිට්ස් දෙසට දිවෙන පන්නෙයි පාලම සහිත කළපුවත් තවත් පැත්තකින් නගරයත් මනරම් ලෙස නිරීක්ෂණය කළ හැකි මෙම බලකොටුවේ බලකොටුවකට අවශ්‍ය සියලුම අංග සහිතව ඉදි කර තිබේ. ආරක්ෂක උපායමාර්ගික අංග, ළිං, මුරකුටි, වෙඩිබෙහෙත් ඇතුළු භාණ්ඩ ගබඩා, නවාතැන් ඇතුළු විවිධ අංග රැසකින් සමන්විත බලකොටුවට ඇතුළුවීමට ඇත්තේ දිය අඟල හරහා ඉදි කර ඇති පාලමකින් එතෙර වී දැවැන්ත ආරුක්කුවක් තුළින් ය. මෙම බලකොටුව හුණුගල් හා කොරල් ගල් යොදාගෙන ඉදි කර තිබීම විශේෂත්වයකි.
මුහුද අද්දර කොරල් බලකොටුව – ඩෙල්ෆ්
ප්‍රධාන ගොඩබිමේ සිට කිලෝමීටර දාහතරකට වැඩි දුරින් මුහුද මැද පිහිටා ඇති සුන්දර දූපතක් වන ඩෙල්ෆ් දූපත පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටා ඇති විශාලතම දූපතයි.
පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික කටයුතු අධීක්ෂණයටත්, උතුරින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරීක්ෂණයටත් ඩෙල්ෆ් කදිම ස්ථානයක් යැයි පෘතුගීසීන් ද සිතුවාට සැකයක් නැත. එනිසා ඔවුන් ඩෙල්ෆ් දූපතේ කුඩා බලකොටුවක් ඉදි කළ හ. නමුත් ටික කාලයකින් එය අත්පත් කරගත් ලන්දේසීන් එය දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදි කර ඇති අතර අනෙක් බලකොටු තරම් විශාල එකක් නොවූවත් කාමර කිහිපයක නටඹුන් දැකගත හැකියි.
මෙම බලකොටුව නැරඹීමට කිසිඳු සංචාරකයෙකුගෙන් මුදලක් අය කෙරෙන්නේ නැත. කෙසේනමුත් එහි ගිය අපට දැකගත හැකි වූයේ බලකොටුවේ කිසිඳු සංරක්ෂණ කටයුත්තක් සිදු කෙරී නොමැති බවයි. එහි පුරාවිද්‍යා කාර්යාලයක් හෝ නිලධාරියෙකු හෝ දැකගැනීමට නොහැකි වූ අතර ඕනෑම අයෙකුට පැමිණ ඕනෑම හානියක් වුවත් කර යාමේ ඉඩක් ඇති බව නිරීක්ෂණය විය. එනිසා ම නටඹුන් සහිත ප්‍රදේශය තුළ බොහෝ ගරාවැටීම් හා සිතාමතා සිදු කර ඇතැයි හැඟෙන හානි ද දැකගත හැකියි.
ඩෙල්ෆ් බලකොටුවේ ඉහළට නැගි විට නිල්පැහැ සුන්දර මුහුද දිස්වෙයි. බලකොටුව ඉදිකර ඇත්තේ කොරල් ගල්වලින් නිසා එක් එක් බිත්තිවල සුන්දර රටා එහි යන ඔබට දැකගත හැකියි.
හිරු අවරට යනවිට දිලෙන රන්වන් බලකොටුව – මන්නාරම
ප්‍රධාන ගොඩබිම හා මන්නාරම් දූපත යා කෙරෙන පාලමෙන් ඔබ මන්නාරම් දූපත වෙත ඇතුළුවන විටම ඔබට දකුණු පසින් දිස්වන දැවැන්ත බලකොටුවකි. ඔබ සැන්දෑ වේලාවක හිරු බැසයමින් තිබියදී එහි ගියහොත් දැකගත හැකි වන්නේ එක ම රන්වන් බලකොටුවකි. යුද සමයේ පුපුරුවා හැරි පැරණි මන්නාරම පාලමත්, ජපාන ආධාර යටතේ ඉදි කළ නව පාලමත් අසල පිහිටා ඇති මෙම දැවැන්ත බලකොටුව පෘතුගීසීන් ඉදි කරන ලදුව ලන්දේසීන් විසින් අත්පත් කරගෙන වැඩිදියුණු කළ තවත් බලකොටුවකි. වෙළඳ හා නාවික කටයුතු සඳහා යොදාගත් මෙම බලකොටුව ආසන්නයේ මන්නාරම් ධීවර වරාය පිහිටා තිබේ. ඔබ හිරු උදාව සිදුවන අවස්ථාවක මෙහි ගියහොත් බලකොටුවේ එක් පසෙකින් හිරු උදාවන සුන්දර දර්ශනය දැකගත හැකියි. හිරුබැස යන විට බලකොටුවේ සිට සුන්දරව එය නිරීක්ෂණය කළ හැකි අතර අලුත් හා පැරණි පාලම් පසුබිමේ හිරු මුහුදේ ගිලී යන ආකාරය නැරඹීමට බලකොටුව කදිම ස්ථානයකි. මෙම බලකොටුවේ කොටස් රාශියක් ඇති අතර ප්‍රාකාරය වටා ගමන් කිරීමේ හැකියාව පවතී. දෙමහල් ඉදි කිරීමක් වන මෙහි එක් පසෙක දැවැන්ත ඝණ්ඨාර කුළුණකි. පහත මාලය මැද මිදුලක් සහිතව ඉදි කර ඇති මෙම අලංකාර ගොඩනැගිලි සංකීර්ණයේ විශේෂම කොටසක් වන්නේ එහි ඇති දේවස්ථානයයි. එහි බිත්ති හා පොළොවේ විවිධ ලන්දේසි හා ඉංග්‍රීසි නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල් වල අයගේ නම් සඳහන් පුවරු දැකගත හැකියි.
මෑත වසර කිහිපයක් තුළ දී සංරක්ෂණ කටයුතු ආරම්භ වූ මෙම නටඹුන් සංකීර්ණය මීට පෙර භාරව සිටියේ යුද හමුදාව බව එහි සිටි පුරාවිද්‍යා නිලධාරියෙකු විසින් පැවසුවේ ය. බලකොටුව යුද සමයේ හමුදා කඳවුරක් පවත්වාගෙන යාමට භාවිත කර ඇති බවත්, එනිසා බලකොටුවේ පිවිසුමේ තිබී ඇති ආරුක්කුව කඩා ඉවත් කර ඇති බවත් එම නිලධාරියා පැවසුවේ ය. ඔහු පෙන්වා දුන්නේ එම භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දුන්නේ මෑතක වීම නිසා සංරක්ෂණ කටයුතු කිරීම ප්‍රමාද වූ බව ය.
බලකොටුව නැරඹීමට මෙතෙක් කිසිඳු ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකරන අතර, මන්නාරම් කොටුවේ පුරාවිද්‍යා වටිනාකම පැහැදිලි කරගැනීමට ඔබට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මිත්‍රශීලී හා ස්වේච්ඡා සහය ලබා ගත හැකියි.
මෙම ප්‍රධාන බලකොටුවලට අමතර ව, යාපනයේ හැමන්හිල් බලකොටුව, මුලතිව් බලකොටුව හා අරිප්පු බලකොටුව උතුරු පළාතේ ඇති යටත් විජිතසමයේ ඉදි කළ බලකොටුවල නටබුන් ය.
හැමන්හිල් බලකොටුවේ වර්තමානය වන විට නාවික හමුදාව විසින් පවත්වාගෙන යන හෝටලයක් පවතින අතර, කැමති අයෙකුට සිරකරුවෙකු සේ දිනක් ගත කිරීමේ අත්දැකීම ලබා ගැනීමට හැකියි.
මුලතිව් බලකොටුව මේ වන විට බොහෝ සෙයින් විනාශ වී ඇති අතර එහි ඉතිරිව ඇත්තේ කුඩා කොටස් කිහිපයක් පමණි.
මන්නාරමේ ම අරිප්පු ප්‍රදේශයේ පිහිටා ඇති අරිප්පු බලකොටුවේ ද නටඹුන් ප්‍රමාණයක් වර්තමානවන විට ඉතිරිව පවතියි. අරිප්පු කොටුවේ හැඩය තරමක් යාපනය බලකොටුවේ හැඩයට සමාන ය. කොරල්, හුණු ගල් හා ගඩොල් වලින් එය ඉදි කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් ෆෙඩ්රික් නෝර්ත්ගේ නිවහන වූ මුහුද අද්දර පිහිටා ඇති ඩොරික්බංගලාවේ නටඹුන්ද ඇත්තේ මෙම බලකොටුවට අසන්නයේ යි.
සංචාරක සටහන : අමන්දිකා කුරේ