රට තුළ ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ රැල්ල මැඩලිමේ අරමුණින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවෙමින් පවතින බව පෙනෙන්නට ඇතැයි මානව හිමිකම් සහ සිවිල් ක්‍රියාකාරීහූ පවසති.
දෙසැම්බර් 17 වැනිදා දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ අරමුණ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කොට ඊට සම්බන්ධ සංවිධානත්මක අපරාධ ජාලය බිඳ දැමීම බව පොලිසිය අනාවණය කළේය.
මෙම මෙහෙයුමේ දී බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලට විශේෂ අවදානයක් යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මීට ඉහත දී පැවසීය.
කෙසේවෙතත් මෙම මෙහෙයුමේ දී ආරක්ෂක අංශ නිවාස හා පුද්ගලයන් සෝදිසි කිරීම සම්බන්ධව හා ඒවා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම සම්බන්ධව සමාජයේ කතා බහක් ඇතිව තිබෙන අයුරු බීබීසි සිංහල සේවයට නිරීක්ෂණය විය.
සැලසුම් සහගත මෙහෙයුමක් නම් වරෙන්තුවක් ගන්න බැරි වුනේ ඇයි?
අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් නොමැතිව නිවසක් පරික්ෂා කිරීමට පොලිසියට සීමිත බලතල ඇතත් ප්‍රදේශයක් ඉලක්ක කරගෙන අධිකරණ අවසරයක් නොමැතිව ආරක්ෂක අංශ වෙත නිවාස හෝ ගොඩනැගිලි පරික්ෂා කිරිමේ බලයක් නොමැති බවට යුක්තිය මෙහෙයුම සම්බන්ධව බීබීසී සිංහල සේවය හා අදහස් දක්වමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා සඳහන් කළේය.
“මේක සැලසුම් සහගත මෙහෙයුමක්නේ. එතකොට ඒගොල්ලෝ කියන්න ඕනේ මේක සැලසුම් සහගත මෙහෙයුමක් නම් වරෙන්තුවක් ගන්න බැරි වුනේ ඇයි?, මහේස්ත්‍රාත්තුමාට ගිහිල්ලා කියන්න පුළුවන් මේ පළාතේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේ ගෙවල් ටික සර්ච් කරන්න අපිට වරෙන්තුවක් ලබා දෙන්න කියලා. ඒවගේ කරන්න බැරි අවස්ථාවක තමයි මේ අයට වරෙන්තුවක් නැතිව පරික්ෂා කරන්න අවසර තියෙන්නේ. උදාහරණයක් විදියට මම කෙනෙක්ව කුඩු එක්ක අත්අඩංගුවට ගත්තා කියමුකෝ, එතකොට මට පුලුවන් එයාගේ ගෙදර ගිහිල්ලා සර්චි කරන්න. ඔයාව අත්අඩංගුවට ගත්තා කියලා මැසේජ් එක ගිය ගමන් ඒ බඩු ටික හංගනවා. එතකොට ඔයා එක්ක ගිහිල්ලා සර්චි කරලා එතන තියෙන බඩුත් අරගෙන අපි යනවා.”
“මෙහෙයුමක් කරලා මේ පැත්තම ක්ලියර් කරන්න යනවා නම්, එතකොට ඒගොල්ලන්ට වෙලාව තියෙනවානේ මහේස්ත්‍රාත්තුමාට කියලා වරෙන්තුවක් ලබා දෙන්න කියලා ඉල්ලන්න. දැන් මේ යන්නේ මාධ්‍යටත් කියලා, මුළු ලෝකෙටම කියලානේ එතකොට තියෙන එකත් කුඩු හංගනවානේ. එහෙම කරන පොලිසියට ඇයි වරෙන්තුවක් ගන්න බැරි.” යැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය.
වරෙන්තුවකින් තොරව රෑ මැදියමේ යම් පළාතකට කඩා වැදී පරික්ෂා කිරිමේ බලයක් පොලිසියට නැතැයි පැවසු නීතිඥ හිජාස් හිස්බුල්ලා එය මානව හිමිකම් උල්ලංඝනයක් යැයි පැවසීය.
කවදාහරි නයිට් ක්ල්බ්වලට පොලිසියෙන් පැනලා තියෙනවා ද?
වධ හිංසා කිරීම සම්බන්ධව අධිකරණ තීන්දු මකා ගනිමින් වැඩබලන පොලිස්පතිවරයා හට වීරයෙකු වීමට දුගී ජනයා ඉල්ලක කර ගනිමින් ගෙන යන සංදර්ශනයක් ලෙස නීතිඥවරයා මෙම මෙහෙයුම හඳුන්වා දෙනු ලැබීය.
ඔහු පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැවසෙන සහ මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන රාත්‍රී සමාජ ශාලා වැනි පොහොසතුන් ගැවසෙන ස්ථාන පොලිසිය විසින් පරික්ෂා කළ බවට දැනගන්න නොමැති බවයි.
“කුඩු බිස්නස් එකම අයින් කරනවා නම් යන්න ඕනේ නයිට් ක්ල්බ්වලට. ඇයි නයිට් ක්ලබ් රේඩ් කරන්නේ නැත්තේ. නයිට් ක්ල්බ්වල කොකේන් පාවිච්චි කිරිම, පිල් පාවිච්චි කිරිම, පොහොසත් කට්ටිය පාවිච්චි කරන ඒවා කුඩු නෙමෙයි ද? ඒවට වියදම් කරන අයගේ සල්ලි කොහෙන්ද? ඒවා හොයන්න පටන් ගත්තොත් තමයි ඇත්ම කුඩුකාරයා කුඩු බිස්නස් කරන කොනා හොයා ගන්න පුලුවන්. කවදාහරි නයිට් ක්ල්බ්වලට පොලිසියෙන් පැනලා තියෙනවා ද?”
“මේක නිකං මහජනතාවට සංදර්ශනයක් පෙන්වන්න දුප්පත් මිනිස්සු ටාගට් කරපු, පොඩි ඔපරේෂන් එකක්. මානව හිමිකම් උල්ලාංඝනය වීම ගැන කැක්කුමක් නැති සමාජයක්නේ එතන ඉන්නේ. ඒගොල්ලන්ට වෙන අසාධාරණකම් වෙනුවෙන් පෙනී ඉන්න වෙන කවුරුත් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරගෙන පොලිසියෙන් ලොකු ඩ්‍රාමා එකක් කරගෙන, පොලිස්පතිතුමාට ඇක්ටින් අපොයිමන්ට් එක්ක දීලා, සුප්‍රිම් කෝට් එකෙන් වධ හිංසා කළා කියලා එහෙම චෝදනා ඇවිල්ලා තියෙනවානේ. එයාට ඒ ඔක්කොම මකා ගන්න මහජනතාවගේ වීරයා වගේ එන්න බලනවා. ඒක තමයි මෙතන ඇත්ත කතාව.”
පොලිසිය විසින් මෙහෙයුම් සිදුකරනු ලබන මෙහෙයුම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරිම පිළිකුල් සහගත බව පැවසු නීතිඥ හිජාස් හිස්බුල්ලා “මෙතන මීඩියා සංදර්ශන හැරුණුකොට වෙන කිසිම දෙයක් නැහැ කියන එක තවත් තහවුරු වෙනවා. පොලිසියට මීඩියා එකට කියාගෙන, මීඩියා කැමරා සෙට් කරගෙන යන්න පුලුවන්නම් ඇයි වරෙන්තුවක් ගන්න බැරි?” යැයි ප්‍රශ්න කළේය.
මාධ්‍ය හරහා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හා ඔවුන් ඉන්නා ස්ථාන මාධ්‍ය මගින් පෙන්වීම හරහා සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට මෙන්ම ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට බාධා පැමිණෙනු ඇතැයි ද නීතිඥවරයා කියා සිටියේය.
‘වින්දිතයෙක් නොවන කෙනෙක් මාධ්‍ය නිසා වින්දිතයෙක් බවට පත් වෙනවා’
පොලිසිය විසින් දියත් කර ඇති සෝදිසි මෙහෙයුම වාර්තා කිරිමේදී මාධ්‍ය ආයතන විසින් ආචාරධර්ම කඩ කරමින් සිදුකරනු ලබන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධනගෙන් විමසනු ලැබුවා.
“මාධ්‍ය ආචාරධර්ම පැත්තෙන් ගත්තොත් එහෙම බරපතල ගැටලුවක් තියෙනවා, අපි මේක දැක්කා කොරොනා කාලෙත්. අපි කිව්වා මානව හිමිකම් කොමිසමට, ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවට, මාධ්‍යවේදීන්ට ගයිඩ් ලයින් එකක් දෙන්න කියලා. දැනුත් ඒ වගේම තත්ත්වයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ සමහර වාර්තා කිරිම්වලින් පස්සේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙනවා. වින්දිතයෙක් නොවන කෙනෙක් මාධ්‍ය නිසා වින්දිතයෙක් බවට පත් වෙනවා, පොලිසිය නිසා වින්දිතයෙක් වෙන කෙනෙක් එක පාර ඇවිත්ගේ සර්ච් කරපු එක මාධ්‍යවල යද්දි ආයේ පාරක් වින්දිතයෙක් බවට පත් වෙනවා.”
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු ජයවර්ධන මෙම මාධ්‍ය වාර්තා ආචාරධර්ම විරෝධි ක්‍රියාවක් ලෙස හෙලා දුටුවේය.
මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානින් විසින් ආචාරධර්ම කඩ කරන ආකාරයේ සිදුවිම් පළ කරනු ලබනුයේ දේශපාලන ලබැඳියාවන් වෙනුවෙන් සහයෝගය ලබා දීමට විය හැකි යැයි, ඔහු සැක පළ කළේය.
ආචාරධර්මික වාර්තා කිරිම් සිදු නොකළහොත් ඉදිරියේ දී ජනමාධ්‍යට එරෙහි නීති පැනවිමේ අවදානමක් ගැන ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.”
“සමාජයේ දැනටමත් කතා බහක් ඇති වෙලා තියෙනවා ලංකාවේ පුද්ගලිකත්වය පිළිබඳ නීති නැහැ ගේන්න ඕනේ කියලා. එතකොට එහෙම නීතියක් ගෙනාපු ගමන් ජනමාධවේදීන්ටම තමයි පාර වදින්නේ. හැබැයි දැනට තියෙන අවකාශය ඇතුලේ අපි ආචාරධර්මිකව වාර්තා කිරිම් කරනවා නම් එහෙම නීති ගේන්න අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ.” යි තරිඳු ජයවර්ධනය වැඩි දුරටත් අවධාරණය කරන ලදී.
රුපියල් මිලියන 162 කට ආසන්න වත්කම් පොලිස් භාරයට
(දෙසැම්බර් 21 වැනිදා) ක්‍රියාත්මක කළ වැටලීම් 1864කට අදළව, සැකකරුවන් 1810ක් සහ සහ සැකකාරියන් 55ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඉන් සැකකරුවන් 145 දෙනෙකුට රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය.
මේ අතර පොලිසිය සඳහන් කළේ මෙම වැටලීම් වලින් මේ දක්වා සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දේපළ රැසක් නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තහනමට ලක්කර ඇති බවයි.
එම දේපළවල මුළු වටිනාකම රුපියල් මිලියන 162කට ආසන්න වේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට සම්බන්ධ 4665ක පිරිසක්
මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
” ‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ රටේ දිගින් දිගටම පැවතුණා. එම නිසා මෙම ක්‍රියාකාරකම් කවුරුන් හෝ නතර කළ යුතුයි. ඒ නිසා මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මම තීරණය කළා. ඒ අරමුණින් තමයි ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළේ. මෙම කටයුත්තේදී ප්‍රජා පොලිස් කමිටුවලට ද විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. “
“මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට සම්බන්ධ 4665ක පිරිසක් සිටින බවට අපට බුද්ධි වාර්තා ලැබී තිබෙනවා. මේ සියලුම දෙනාවම අත්අඩංගුවට ගන්නා ලෙසට මා උපදෙස් දී තිබෙනවා. පසුගිය දින 4 තුළ පමණක් එම බුද්ධි වාර්තාවේ සිටින 731ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.”අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
“මෙම මෙහෙයුමේදී බුද්ධි අංශ වාර්තාවල සඳහන් නොවූ සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. මීට අමතරව තවත් 8451ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් 346ක් සඳහා රැඳවුම් නියෝගය ද, වත්කම් විමර්ශන කටයුතු වෙනුවෙන් 61ක් ද, 697ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.”
“ඒ වගේම පසුගිය දින 4තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 431ක වටිනාකමකින් යුත් ගංජා, හෂීස්, හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. සැකකරුවන්ට අයත් වාහන, නිවාස, දේපළ ඇතුළු වත්කම් බැරකම් වශයෙන් සැලකූ විට ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 162ක් පමණ වෙනවා. එම නිසා මේ මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක ද කියා ඔබ සැමට පෙනෙන්නට තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සෑම භාණ්ඩයක්ම අධිකරණ ක්‍රියාමාර්ග හරහා රාජසන්තක කිරීමට කටයුතු කරනවා.”