තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙක්?

0

තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් සියලුදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ.

කෙසේවෙතත් දිවුරුම් දීම සිදුවන වේලාව සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබුණ ද ඔවුන්ගෙන් ඇතැම් මන්ත්‍රීවරුන්ට නොසතුට පළ කර ඇති බවද වාර්තා වේ.

මේ අතර සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ දී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

මීට අමතරව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.