ආසියානු ශූරතාව අතැතිව සිංහයන් දිවයිනට.. රථ පෙළපාලියකින් කොළඹට…

0

ආසියානු කුසලාන 20 යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

එහිදී ඔවුන් උත්කර්ෂවත්ව පිළිගනු ලැබුවා.

අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ රථ පෙළපාළියකින් කටුනායක ගුවන් තොටුපොළේ සිට මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමටයි විධිවිධාන යොදා ඇත්තේ.

මෙම රථ පෙළපාළිය ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එක්ව සංවිධානය කරයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් උදෑසන 6.30ට ආරම්භ කිරීමට නියමිත රථ පෙළපාළිය කොළඹ * මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණෙන අතර එම ස්ථානවලදී විශේෂ පිළිගැනීම් උත්සව සංවිධානය කර තිබේ.

මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තබමින් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දුන් මෙම ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරිමත් කිරීමට ජාතික ධජ අතැතිව ගමන් මග දෙපසට එක්වන ලෙස සියලූ ජනතාවට ආරාධනා කෙරේ.