දිස්ත්‍රික්ක කිහිපයක් වසා දමා කොවිඩ් 19 පාලනයට පියවර ?

0
Lockdown in Sri Lanka - කොවිඩ් 19 පාලනයට පියවර

කොවිඩ් 19 පාලනයට පියවර ගැනීමට රජය කඩිනමින් සූදානම් වනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලට දැඩි සංචරණ සීමා පනවා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් තුන්වන රැල්ල පාලනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඊයේ (09) සවස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී, පවතින කොවිඩ් තත්ත්වය යටතේ රට ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණා.

එහිදී සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති අතර එහිදී ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් වසා දමා බාධාවකින් තොරව දෛනික කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරින් සකච්ඡාකර තිබෙනවා.

ගැබිණි මාතාවන් සේවයට කැඳවීමේදී ගත යුතු ක්‍රියාමාර්ග, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා නිවෙසටම ඖෂධ බෙදාහැරීමේ වැඩ පිළිවෙල නැවත ආරම්භකිරීම ආදී කාරණා සාකච්ඡාවී ඇත්තේ මෙම හමුවේදී යි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව කාර්යක්ෂමව ප්‍රාදේශීය මට්ටමින් ජනතාව වෙත බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරිමටද  මෙහිදී යෝජනා වී තිබෙනවා.

(https://www.hirunews.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)