ප්‍රබලයන් රහිත ඉන්දියාව ශ්‍රී ලංකාව පහසුවෙන් පරදවයි

0
Shikhar Dhawan - ප්‍රබලයන් රහිත ඉන්දියාව ශ්‍රී ලංකාව පහසුවෙන් පරදවයි

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(18) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා මිනෝද් භානුක අතර ලකුණු 49ක සබදතාවයක් ගොඩ නැගුණා.

අවිශ්ක ලකුණු 33කටත්, මිනෝද් ලකුණු 27කටත් දැවී ගිය අතර, මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 24ක් රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 14යි.

චරිත් අසලංක ලකුණු 38ක් ලබා ගත් අතර, නායක දසුන් ශානක ලකුණු 39කට දැවී ගියා.

ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 35කින් ලකුණු 43ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දීපක් චහාර්, යුස්වේන්ද්‍ර චහෙල් හා කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 36.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ප්‍රිත්වි ෂෝ හා ශිකර් ධවාන් අතර ගොඩ නැගුණු සබඳතාවය ලකුණු 58ක්.

ප්‍රිත්වි පන්දු 24කින් ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 9ක් සමගින්.

මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ ඉෂන් කිෂන් පන්දු 42කින් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.

මනීෂ් පාන්ඩේ ලකුණු 26යි.

නායක ශිකර් ධවාන් පන්දු 95කින් නොදැවී ලකුණු 86ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 2ක් හා ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක් බිද හෙලුවා.