ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියට සමුදීමේ සූදානමක්

0
Angelo Mathews - ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියට සමුදීමේ සූදානමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙන්නේ ජාත්‍යන්තර තරගවලින් සමු ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බවයි.

සමුගැනීම සම්බන්ධයෙන් මැතිව්ස් තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත්, ඉදිරි සති කිහිපය තුළ ඔහු සිය තීරණය ක්‍රිකට් ආයතනය වෙත දැන්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

සීමිත ඕවර් තරගවලින් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් නොසලකා හැරීම හේතුවෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කළකිරීමෙන් සිටින අතර මීට පෙර තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාද ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට තීරණය කළේය. මීට අමතරව තේරීම් කමිටුවේ නොසලකා හැරීම් සිදුවන බව පවසමින් ක්‍රීඩකයන් කිහිප දෙනකුම පසුගිය කාලයේදී රට අතහැර යාමට පවා තීරණය කර තිබිණි.

ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් පවතින ගැටලුවද තවමත් අවසන් වී නොමැති අතර කෙසේ නමුත් එංගලන්ත සංචාරය සහභාගි වූ ක්‍රීඩකයන් සියලු දෙනාම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. අද පෙරවරු 08 ට පෙර කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළයුතු බවට එම ක්‍රීඩකයන්ට දැනුම් දී තිබූ අතර අත්සන් නොකරන ක්‍රීඩකයන් ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින හා 20/20 තරග සඳහා සලකා නොබලන බවටද ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබිණි.

34 හැවිරිදි වියේ පසුවන මැතිව්ස් මේ වනවිට ජාත්‍යන්ර පිටියේ සිටින අත්දැකීම් බහුලම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වේ. ඔහු සීමිත ඕවර් තරගවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිඩාලෝලීන් බොහෝ දෙනාගේ විවේචන තේරීම් කමිටුවට එල්ල වී තිබේ.