ඩෙල්ටා ප්‍රභේදය: ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක බවට අනතුරු ඇඟවීමක්

0
Delta Variant in Sri Lanka Next Two Weeks - ඩෙල්ටා ප්‍රභේදය: ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක බවට අනතුරු ඇඟවීමක්
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත කොවිඩ් රෝගීන් ගණනාවක් හමු වීමත් සමග ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාව තුළ තවමත් කොවිඩ් එන්නත ලැබී ඇත්තේ 20% ආසන්න පිරිසකට පමණක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එවැනි පසුබිමක, ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව පළමුව කළ යුත්තේ වයස අවුරුදු 60 ඉක්ම වූ ජනතාවට එන්නත ලබා දීම යයි ද මහාචාර්යවරයා පෙන්වා දුනි.

“ඒක සාර්ථවක කළාට පස්සේ ඊට වඩා වයස අඩු ඛාණ්ඩවලට එන්නත ලබා දිය හැකියි. අපි දන්නවා කොවිඩ් නිසා මිය යන 75% ක් විතර වයස අවුරුදු 60 ට ඉක්මවපු අය. දැඩි සත්කාරවලටත් වැඩිපුර එන්නේ ඒ වයස් ඛාණ්ඩවල පුද්ගලයන්. ඉතින් ඔවුන්ට එන්නත් ලබා දීමයි වැදගත්,”

“අනෙක් අතින් අප මතක තබා යුතුයි කලින් තිබ්බ ලොක්ඩවුන් සීමා දැන් ඉවත් කර තිබෙන බව. ඒ සීමා ඉවත් කළාට හොඳ තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඉදිරි සති කිහිපයේ යළි අවදානමක් ඇති විය හැකි නිසා අපි හොඳ අවධානයෙන් පසුවිය යුතුයි,” යනුවෙන් මහාචාර්යවරයා කියා සිටියේ BBC සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

(BBC සිංහල වෙබ් අඩවිය ඇසුරිනි)